තාදී ටෙලිනාට්‍යයෙන් වෙනස්ම විදිහකට ඔබ අතරට එන මාධවී ඇන්තනී

කලාව ඇයගේ නිවසේම තිබේ. කලාව තුළින් බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් ඇය නමින් මාධවී ඇන්තනී ය. ඇයගේ කලා දිවිය සහ තවත් කරුණු කතා බහ කරන්නට මෙවර ‘අද’ තරු කතා බහට ඇයව මෙලෙස එක් කර ගනු ලැබිය. මේ ඇයගේ කතා බහයි.

අලුත් තොරතුරු මොනවාද?

මේ දවස්වල ටෙලි නාට්‍යය දෙකක වැඩ කරගෙන යනවා. ඒ වගේම මම රංගනයෙන් දායක වුනු ටෙලි නාට්‍යය දෙකක් විකාශය වෙන්න තියෙනවා. ගොඩක් වෙලාවට මේ මාසෙම පටන් ගනියි. මම සිංදු කිහිපයක් හදලා තියාගෙන හිටියා හොඳම වෙලාව එනකම් දාන්න. මගේ පළවෙනි නිර්මාණය විදිහට එන එක කියලා කියන්න පුළුවන්. මොකද හපන් පැදුරේ ඉද්දීනේ සිංදු හදලා තිබුනේ. ඒක නිසා අප්පච්චි මැදිහත් වෙලා හදපු පළවෙනි නිර්මාණය විදිහට එළිදක්වන්න ඉන්නවා ලබන අවුරුද්දේ ජනවාරි මාසයේ. ඒකේ වැඩ ඔක්කොම ඉවරයි. මියුසික් වීඩියෝව එකත් කරලා ඉවරයි. කොරෝනා එන්නත් කලින් තමයි ඒක ඉවර කලේ. නමුත් අතේ තියාගෙන හිටියා ගොඩක් කල්. ලබන අවුරුද්දේ සුබ නිමිත්තකින් එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මගේ යූටියුබ් චැනල් එකත් කරගෙන යනවා. ඒකේ කෑම හදනවා, ඒ වගේම තවත් විශේෂාංග ටිකක් සැලසුම් කරගෙන යනවා. ඒවා තමයි වැඩකටයුතු.

යූටියුබ් චැනල් එක දැන් ගොඩක් ජනප්‍රිය වෙලා නේද?

ඇත්තටම ඔව්. පටන් ගත්තේ කොරෝනා පලවෙනි රැල්ල කාලයේදී තමයි. ඒ කියන්නේ මැයි මාසයේදී වගෙයි. බොහෝම පුංචි කාලයක් ඇතුලදී ගොඩක් දෙනෙක්ගේ ආකර්ෂනයත් ලැබුනා, ගොඩක් දෙනාගේ හිත දිනා ගන්න ලැබුනා. Subscribes ලක්ෂයකට සෑහෙන්න අඩු ප්‍රමාණයක් තමයි දැන් තියෙන්නේ. මම හිතාගෙන හිටියෙත් නැහැ එහෙම දෙයක් වෙයි කියලා. මට මේ දේ පටන් ගත්තාම දැනිච්ච දෙයක් තමයි පුද්ගලිකවම මැදිහත් වෙන්න පුළුවන් මාධ්‍යයක්නෙ මේක. චැනල් එකක දෙයක් විකාශය වෙනවා වගේ නෙමෙයි. මේක මගේ කියලා හැගීමක් තියෙනවා. ඒකේ අධිකාරියක් මට හිමි වෙනවා. ඒකේ ප්‍රචාරය කරන්න ඕනේ නැද්ද මොනාද කියලා තීරණය කරන්න හැකියාවක් තියෙනවා වගේම මට ප්‍රේක්ෂකාගාරය්ක ඉන්නවා. ඒක නිසා මාත් එක්ක ඉන්න පිරිසත් ඉහලින් අගය කරනවා වගේම මගේ හැකියාවක් ඒ හරහා ඉදිරිපත් කර ගැනීමටත් හැකියාවක් ලැබීම පිළිබඳවත් සතුටු වෙනවා.

චැනල් එකේ පටන් ගැනීමම තියෙන්නේ සැමියා වෙනුවෙන් හදන කේක් එකක් නේද?

ඇත්තටම ඒක හරි ලස්සන කතාවක්. මට මෙහෙම දෙයක් කරන්න කිසිම අදහසක් තිබුනේ නැහැ. හැබැයි හැමදාම මම කරන දේවල් දන්න කියන දෙයක් තමයි ඒක. මොකද මම උයන්න දන්නවා, අත්වැඩ කරන්න දන්නවා. මැහුම් ගෙතුම්, කේක් හදන ඒවා වගේ දේවල් ආසාවෙන් කරන කෙනෙක්. ඉතිං මේකේ මුල වෙන්නේ මම කවදාවත් Fondant අයිසින් කේක් එකක් හදා තිබුණේ නැහැ. මිලාන්ගේ උපන් දිනයට මට ඕන වුණා ඒ කේක් එකක් හදන්න. හැදුවෙත් එයා ආසම Star Wars චිත්‍රපයේ ඉන්න Yoda කියන චරිතයයි. ඉතිං ඒක හදන විදිහ මල්ලිලා බලන් හිටියා. සජිත මගෙන් ඇහැව්වා ආයේ මේක හදන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ දවසක් දාගෙන එදාට කැමරාවක් අරං ඇවිල්ලා මේක කරමු කියලා කිව්වා. නමුත් එහෙම එක්ක කරන්න මට උවමනාවක් නොතිබුණාට ඒක කරවන්න මිලාන්ට, රැෆෙල්ලා ප්‍රනාන්දුටත් ලොකුම උවමනාවක් තිබුණා.

මම විශ්වාස කරේ නැහැ මට එහෙම කරන්න අවශ්‍යයි කියලා. ආයේ කේක් එක හැදුවා. ඉතිං එක කැමරා එකකින් ජීවන් විජේසිරි මල්ලියි, අපේ සජිත මල්ලියි වීඩියෝ කලා. ඒක හරි ලස්සනට ආවා. ඒ දර්ශන දකින කොට මට හිතුනා. මේ වැඩේ ඇත්තටම මරු නේද? මීට වඩා වැඩ කරන්න පුළුවන් නේද කියන දේ. මිලාන් මට වඩා උද්යෝගමත් වෙලා මට ඔක්කෝම බඩු ටික අරන් දුන්නා. ඉතිං එදා ඉඳන් මගේ චැනල් එකේ වීඩියෝ කටයුතු වගේම ප්‍රඩක්ෂන් කරන්නේ ඔක්කෝම එයා. ඒ වගේම අප්පච්චිගේ ඇසිස්ටන් මල්ලි කෙනෙක් ඉන්නවා ඉරේෂ් ලක්මාල් කියලා. එය සහ මිලාන් එකතු වෙලා තමයි මගේ යූටියුබ් චැනල් එක කර ගෙන යන්නේ. අකිල ඉන්න ගෙදර කරන රූගත කිරීම් වලට අකිලත්, අම්මත්, ඒමි නංගිත්, බුවිත් උදව් වෙනවා. අප්පච්චි බලන් ඉඳලා අපිව අධීක්ෂණය කරනවා.

සමාජ මාධ්‍ය භාවිතා කරන කෙනෙක් විදිහට මේ පිළිබඳව දකින්නේ කොහොමද?

ඇත්තටම කිව්වොත් ඒක අපි අවුස්ස ගත්ත නැති යකෙක්. අපි යකාගෙන් වැඩ ගන්න දන්නේ නැහැ. මේක ඉතාමත් හොඳ මාධ්‍යයක්. මම යකා කියන්න හේතුව තමයි. ඒක ඒ විදිහට හැසිරෙන්නත් පුළුවන්. ඒක ඒ විදිහට කළමනාකරණය කලේ නැත්නම්, අවශ්‍ය නැති පුද්ගලික ජීවිතයේ හැමදේම මේක තුළ දාලා විනාශ කර ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව ලස්සනට කලමනාකරණය පුළුවන් ලස්සන තැනක්. සමාජ මාධ්‍ය තුළ අපේ දක්ෂතාවය තුළ යම් කිසි දෙයක් කරනවානම් ඒක ලෝකේ ඕනෑම කෙනෙක්ට ඒක පේනවා සහ බලන්න පුළුවන්. ඒක කොච්චර ලොකු දෙයක්ද. මිනිස්සු විදිහට තමන්ගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් හොඳම තැනක් තමයි මේ සමාජ මාධ්‍ය කියන්නේ. රටේ හැමදේමට සමාජ මාධ්‍ය දැන් නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා තියෙන්නේ. අපේ බහුතරයක් මේකේ තියෙන බර දන්නේ නැහැ. ඇත්තටම මේකේ වටිනාකමක් තියෙනවා කියලා දැන ගන්න ඕනේ.

අපි මේක අලුතින් ඉගෙන ගත්ත දෙයක්නෙ. අපි ඉපදුනේ සමාජ මාධ්‍ය එක්ක නෙමෙයිනේ. නමුත් ඒක එක්ක ඉපදිච්ච අය මේක හොඳ විදිහට භාවිතා කරයි කියලා. ලෝකේ ඉන්නේ සමාජය මාධ්‍ය භාවිතයෙන් බිහිවෙච්ච තරු. ‍බුද්ධිමත් කෙනෙකුට මේක හොඳ මෙවලමක්. ඒත් සමාජ මාධ්‍ය කියන්නෙ ආගමක් නෙවෙයි. ඒක නාලිකාවක් පමණයි. ඒ වගේම මේ නාලිකාවට වගකියන කෙනෙක් නෑ. රැඟුම් පාලක මන්ඩල නෑ. බලධාරීන් නෑ. මොලයක් නෑ. හදවතක් නෑ. ඒ නිසා ඒවා පාවිච්චි කරන අපි ස්වයං වාරණ, පාලන කරගන්න ඕනෙ. කියන්නා කෙසේ කිව්වත් අසන්නා, දකින්නා, කියවන්නා සිහිබුද්ධියෙන් ඒවා ගන්න ඕනෙ. මානුෂීයව දකින්න ඕනෙ. කාලීන උදාහරණයක් ගත්තොත්, කොවිඩ් 19 නැමැති ස්වසන වෛරසයට ගොදුරු වුනා කියා හෝ නිරෝධායනයට ලක් වුනු සෙසු අය ගැන සමාජ මාධ්‍ය වල ප්‍රකාශ වුනු පළියට ඒවා අදහන එක වැරදියි.

ඒ වගේම ඇත්තටම එහෙම වැලඳිලා සුවපත් වුනු අය ගැන සති දෙකකටත් තුනකට පසුවත් අවඥ්ඥාවෙන් ඔවුන් දෙස බලන එක, ඒ අය යම් නීති විරෝධී දෙයක් හෝ වරදක් කල අය ලෙස සමාජයෙන් කොන් කිරීම වගේ දෙයක් සිදු වෙනව නම්, ඒක ෆේස්බුක් එකේ වරදක් නෙවෙයි. එහෙම මිනිස්සුන්ගෙ මනුස්සකම පිළිබඳවත්, බුද්ධිය පිළිබඳවත් ප්‍රශ්නයක්. කොවිඩ් වැලඳුනු කෙනෙකුට සති දෙකක් ගත වුනු පසුව PCR පරීක්ෂණයක් වත් කරන්න ඕනෙ නෑ කියලයි වෛද්‍යවරු කියන්නේ. එහෙව් එකේ ඇතැම් අය දිවිනහගන්න තැනට පත් කරන්න තරම් සමාජය කුරිරුයි නම්, ඒ කොවිඩ් වලට වඩා ඉතාම දරුණු ආසාදනයක් ආත්මගත වෙලා නිසයි. ඒ ගැන එවැනි අමානුෂික අය බය වෙන්න ඕනෙ. ඔවුන් පව් සිදු කරගන්න බය වෙන්න ඕනෙ. හේතුව පව් හෝදලා යවන්න බේතක් හොයාගන්න බැරි නිසා. සුළුතර පිරිසක් හිතින් රෝගී වෙලා ගත ආරක්ෂා කරගන්න උත්සාහා කරනවා. හිත කෙලෙසිලා නම් තේරුමක් නෑ. එහෙම අයට සමාජ මාධ්‍ය වගේ modern තාක්ෂණයක් කැප නෑ. ඉතිං අපේ සමාජයට “ආදරේ ඕනෑ කෙරේ”

ඉදිරි කටයුතු සහ බලාපොරොත්තු?

ඉදිරියේදී තවත් අලුත් සිංදුවක වීඩියෝවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ඕඩියෝ එක කරලා ඉවරයි. ඒක තමයි මගේ අලුත්ම වැඩේ. ඊට අමරතව අලුත් සිංදු හදන්න බලාපොරොත්තු වෙනවා. යූටියුබ් එකේ දැනට කරන්නේ විනෝදාංශයට කරන Cooking දේවල් විතරයිනේ. ඒත් තවත් මට විනෝදාංශ සහ ආසදේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් නිර්මාණාත්මක විදිහට, මගේ මතවාද ඉදිරිපත් කරන්න, මම ඉගෙන ගත්ත දෙයක් සම්බන්ධයෙන් දෙයක් ඉදිරිපත් කරන්න, මොකද මම භාහිර කථිකාචාරවරියක් විදිහටත් කටයුතු කරන නිසා ඒ දේවල් වලට යොමු වෙන්න බලාපොරොත්තුවක් වෙනවා.

මේ LockDown තත්ත්වයන් එක්ක ගොඩක් අය අන්තර්ජාලය ඔස්සේ ඉගෙන ගන්න දේවල් හොයනවා. ඉතිං මට තියෙන දැනුමෙන් ඒ අයට ඉගෙන ගන්න දෙයක් කරන්න මේ මාධ්‍යයන් භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතව ටෙලි නාට්‍යය, චිත්‍රපට කිහිපයක්ම සැලැසුම් කරගෙන ඉන්නවා ලබන අවුරුද්දේ වැඩ පටන් ගන්න. දැන් තියෙන වාතාවරණය විසඳිලා ගිහිල්ලා හැමෝම නිරෝගීව අලුත් අවුරුද්ද පිළිගන්න පුළුවන් වේවි කියලා බලාපොරාත්තු වෙනවා. හෘද සාක්ෂියට අවංකව හරි දේ කරමින් වැඩ කටයුතු කරන්න. මොකද ඒ දේවල් අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. සමාජයට වගකීම් සහගතව ඉන්න සහ වැදගත් දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

සටහන – ඩිලාන් ක්‍රිෂාන්ත / උපුටා ගැනීම සාරවිට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *