වසර 100කට පමණ පෙර අතීතයේ සිරිපා කරුනාවේ දුර්ලබ චායාරූප 25ක් මෙන්න

සිරි සම්බුදු පා පහසින් පූජනීය වූ සමනල ගිර පිහිටා තිබෙන්නේ සමනල කඳු පන්තියේ ය. බෑණ සමනල, කුණුදිය පර්වතය, ගිරාහොටය ආදී තවත් කඳු පෙළකට මැදිවුණු ශ්‍රී පාද කන්ද සමනල කඳු පන්තියේ උසම ස්ථානය වන්නේ ය.

දුරාතීතයේ සිටම ලාංකික සංස්කෘතිය හා ශ්‍රී පාද පුදබිම අතර ඇත්තේ අව්යෝජනීය සබැඳියාවකි. විශේෂයෙන් සමස්ත සබරගමුවම සමනොළ කන්ද හා සමන් දෙවියන් වටා එක් වූ සංස්කෘතික ධාරාවකට උරුමකම් කියයි. මේ නිසාම ශ්‍රී පාද පුදබිම හා බැඳුණු ජනශ්‍රැති බොහෝ ය. එම ජනශ්‍රැති විමසීමේ දී ශ්‍රී පාද වන්දනය ප්‍රධාන වේ.

රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගය, කුරුවිට එරත්න මාර්ගය, හැටන් නල්ලතන්නි මාර්ගය යන ප්‍රධාන මාර්ග තුනක් ඔස්සේ ශ්‍රී පාද වන්දනා ගමන් මග සැකසී තිබෙන අතර ඊට අමතරව බලංගොඩ සිට මාර තැන්න හරහා බගවන්තලාවට පැමිණ ඇහැළ කණුවට වැටෙන මාර්ගයක් ද තිබේ. එය එතරම් ප්‍රකට නැත. මේ අතරින් රත්නපුර පලාබද්දල මාර්ගය අනෙක් ප්‍රධාන මාර්ග දෙකට වඩා යම් තරමකට දුෂ්කර වේ. දුර ප්‍රමාණයෙන්ද වැඩි ය.

පවනැල්ල, ලිහිණිහෙළ, ඉදිකටුපාන, ධර්මරාජ ගල, සීත ගඟුල, හැරමිටි පාන, ආඬියා මළ තැන්න, ඇහැළ කණුව, මහ ගිරිදඹ යනුවෙන් ප්‍රවාදගත තොරතුරු ඔස්සේ නිර්මාණය වූ විශේෂ ස්ථාන නාම සහිත ගමන් මාර්ගයකි. කුරුවිට මාර්ගය හැරමිටිපානෙන් රත්නපුර මාර්ගයට ම සම්බන්ධ වේ. හැටන් මාර්ගය නල්ලතන්නියෙන් ඇරඹී ශ්‍රී පාද කන්ද තරණයට සැකසී ඇත. දුර ප්‍රමාණයෙන් අඩු නිසා වැඩි පිරිසක් ශ්‍රී පාද වන්දනාව සඳහා තෝරා ගන්නේ මේ මාර්ගයයි.

ශ්‍රී පාද වන්දනයට පිටත්වීමට මාස ගණනකට පෙර සිටම ඒ වෙනුවෙන් පේ වීමට සිංහල ගැමි ජනතාව පුරුදු වී සිටිති. කිල්ලට හසු නොවී පේවී ගමන් කිරීම එහිදී ප්‍රධාන වේ. ගැමියන් අතර වූ එවැනි ප්‍රධාන කිලි වර්ග සතරකි. වැදුගෙයි කිල්ල (මාසයයි) මල්වර කිල්ල (දින 14 යි), මාස් කිල්ල හා මරණ කිල්ල (මාස 3 යි) ලෙසිනි. මෙහිදී කාන්තාවන් විෂයෙහි බලපවත්වන කිලි ප්‍රධාන තැනක් ගන්නා බව පෙනේ.

වඳිනට සිරිපා යන්න සිටින අප හත් දවසක් පේවී සිටලා
එමෙන්ම අටසිල් පන්සිල් පේවී දස අකුසල් අත් හැරලා
සිඟන්නන්ට ආහාර වස්ත්‍රාදී වැඩිහිටියන් හැම සලකාලා
තමන්ගේ නෑදෑ කැළ මිතුරන් හට බත බුලතින් සංග්‍රහ කරලා

‘සිරිපා වන්දනාව පොතේ’ මේ කවියෙන් ඉදිරිපත් කර තිබෙන්නේ ශ්‍රී පාද ගමනට පෙර ගැමියාගේ පේවීම චාරිත්‍ර වාරිත්‍ර හා ගෞරවය මුසු වූ ගැමි විශ්වාසයයි.

වන්දනා නඩයේ ප්‍රමුඛයා නඩේ ගුරාය. මස් මාංශ අනුභවයෙන් වැළකී පේවී, කිල්ලට හසු නොවී නඩේ ගුරා සමඟ ගමනට එක්වන පිරිස ප්‍රධාන කොටස් දෙකකි. පුරුදුකාරයන් සහ කෝඩුකාරයන් ලෙසිනි. එක් වරක් හෝ කිහිප වරක් ශ්‍රීපාද වන්දනා කළෝ පුරුදු කාරයෝ ය. ප්‍රථමයෙන්ම ශ්‍රී පාද වන්දනාවට එක් වන්නේ කෝඩුකාරයෝය. කෝඩුකාරයන් ලෙස ගමනට එක්වන පිරිස අතර කිරිකෝඩු, දඬු කෝඩු හා මූකලන් කෝඩු වේ. කිරිකෝඩු යනු ළමයින් ය. තරුණ පිරිස් දඬුකෝඩුය. මූකලන්කෝඩු නම් වැඩිහිටි වයසක උදවියයි. කෝඩුකාරයන්ට සමන් දෙවියන් පිහිටවන බව පිළිගත් මතයකි.

ගමනේ දී කට වරද්දා නොගත යුතු අතර කෝඩුකාරයන්ට සමාව ලැබේ. එහෙත් කට වරද්දා ගන්නා පුරුදුකාරයන්ට නම් සමාවක් නැත. කට වරද්දා ගැනීම යනු වචනයෙන් වැරැදි දේ කීමය. ගමන අවසානය දක්වාම වන්දනා කරුවා ගෞරවයෙන් හා භක්තියෙන් ගමන් කළ යුතු ය.

සමනල කඳු ප්‍රදේශය සමන් දෙවියන්ගේ අඩවිය ලෙස ගැමියෝ හඳුන්වති. සබරගමු වැසියෝ නම් සමන් දෙවියන්ගේ රට ලෙස හඳුන්වති. සුමන සමන් දෙවිඳුන් වැඳ නමස්කාර කරමින් සිරිපා කරුණා කරන්නේ බොහෝ විට පසුදාට පහන් වන්නටය. එවිට ගමනේ විඩාව අඩුය.

රත්නපුර මාර්ගය ජනශ්‍රැතිය හා සමඟ ඇති සම්බන්ධය ඉතා වැඩිය. පැරැන්නන්ගේ විශ්වාසයට අනුව ශ්‍රී පලාබද්දල මාර්ගය රජමාවත ලෙස සැලකීම ඊට හේතුවය. සබරගමුවේ ජනතාව විශේෂයෙන් සිරිපා කරුණාවට භාවිත කරන්නේ මේ මාර්ගයයි.

සිරිපා කරුණාවේ දී කවි ගායනා කිරීම ප්‍රධාන සිරිතකි. තුන් සරණේ කවි ලෙස හැඳින්වෙන්නේ ගමන පුරා ගැයෙන මේ කවියි. වන්දනා නඩයේ ප්‍රධානියා, නඩේගුරා කවියට ද මූලාරම්භය දෙයි. තුන් සරණේ කවි, මෙන්ම පසුකාලීනව හිමගත වර්ණනාව වැනි පොත්වල එන කවිද ගැයෙන අතර මේවා ජනශ්‍රැතියෙන් පෝෂණය වූ ඒවා ය.

රත්නපුර මාර්ගයේ, යන විට ශ්‍රී පලාබද්දල පන්සලෙන් බුදුන්වැඳ සිරිපා කරුණා කිරීම සිරිතකි. ඉන්පසු මුලින්ම හමුවන්නේ පවනැල්ලය. ලිහිණිහෙළ ඊටත් පසුව හමුවේ. ලිහිණිහෙළ සම්බන්ධව ද ප්‍රවාද කතා නිර්මාණය වී තිබේ. ලිහිණි අක්කා නමින් ලිහිණිහෙළෙන් පැන මිය ගිය කාන්තාවකට නඩයේ පිරිස හඬ ගැසීම එහිදී සිදුවේ. තමන්ගේ හඬෙහි දෝංකාරය තමන්ටම ආපසු ශ්‍රවණය වන කල ලිහිණි අක්කා ප්‍රතිචාර දක්වන්නේ යැයි ද ගම්මු විශ්වාස කරති.

ධර්මරාජ ගලේ ගල්පඩි ගණන් කිරීම, කෝඩුකාරයින් ඇහැළ කනුවේ හිස ස්පර්ශ කිරීම සිරිපා කරුණාවේ ඉතා රසමුසු ජනශ්‍රැතිකාංගයන්ය. මහගිරිදඹ හෙවත් දළ බෑවුම් සහිත පද්මේ හෙවත් ශ්‍රී පාද මළුව ආසන්නයේ ගමන් මාර්ගය ඉතාම ආරක්ෂිතව ගමන් කළ යුතු කොටසයි. දැඩි සීතළ සුළඟ ආදී බාධක මෙහි උත්සන්නය.

අහස මේඝ වැසි වතුර ගලාගෙන
භීත කරන ගල් පහුරක් බැඳගෙන
වාත සුළං හෙල් කඳු පුපුරාගෙන
වසවතු ආවයි මේඝ මවාගෙන

අපේ බුදුන් අපි වඳින්ට
සිරස නමා අපි වඳින්ට
දෙදන නමා අපි වඳින්ට
දොහොත් මුදුන් දී වඳින්ට

මලුත් පුදා අපි වැන්දා
තෙලුත් පුදා අපි වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
අපේ බුදුන් අපි වැන්දා

නළල තබා අපි වැන්දා
දෙදන තබා අපි වැන්දා
පෙරළි පෙරළි අපි වැන්දා
අපේ බුදුන් අපි වැන්දා

ආදී වන්දනා කවි සමූහ වශයෙන් හඬනඟා ගැයීමෙන් ගමනේ කාන්සිය ද මහන්සියද නිවේ. විනෝදය ද විශ්‍රාන්තියද ඇතිවේ. ගම්මුන් විශ්වාස කරන්නේ මේ කවි ගායනාවන්හි දෝංකාරය කැලයේ දරුණු වන සතුන් පලවා හරින බවය. විශේෂයෙන්ම කට වරද්දා ගැනීමෙන් සතුන්ට ගොදුරුවීම, ලෙඩරෝග වලට ලක්වීම සිදුවිය හැකි බවට වන්දනා කරුවෝ විශ්වාස කරන නිසා අනවශ්‍ය කතාවන්ට ඉඩනොදී සංස්කෘතිය හා බැඳුණු මෙවැනි කවි ගායනා හා අනෙකුත් සිරිත් විරිත් හි නිරතවීමට උත්සුක වෙති. දෙහි ඇඹුල් හිස ගා සීත ගඟුලෙන් නා පිරිසුදු වීම, කෝඩුකාරයින් ගෙත්තම් පානේ දී ගෙත්තම් කිරීම ආදිය එවැනි සිරිත් ය.

ගෙත්තම් පානට මුනිරජ වැඩලා
තෙලි සම් දිව්සම් ආසන කරලා
ඉඳිකටු නූලුත් ගෙන සපයාලා
ගෙත්තම් කර මුනි දහම් අසාලා

ශ්‍රී පාද වන්දනාව සීතල දේශගුණය මධ්‍යයේ සිදුවන්නකි. විශේෂයෙන් කුඩා දරුවන් හා වයෝවෘද්ධ වන්දනා කරුවන් ශරීරය උණුසුම්ව තබා ගැනීම අත්‍යවශ්‍ය ය. වන්දනා කරුවන් මේ ගමන සඳහා අග්ගල වැනි ආහාර වර්ග ද සපයා ගන්නේ එවැනි සාධක ද සැලකිල්ලට ගනිමිනි.

’ අග්ගල කං ඩෝං පුතා
ගලේ නඟින් ඩෝං පුතා

ශ්‍රී පාද කරුණාවේ දී ‘අග්ගල’ ප්‍රධාන වූ බව මෙවැනි කවිවලින් පැහැදිලි ය.

සිරිපා වන්දනා ගමන භයංකර බව ගැමියා අදහති. ගමන අතර තුර විටින් විට කාලගුණික වෙනස්වීම්වලටද මුහුණ දෙන්නට සිදුවේ. අතීත කවියා මෙවැනි සාධකද පුරා වෘත්තයකට කවියකට ගොනුකර ඉදිරිපත් කිරීමතුළින් නිර්මාණ රසය තවදුරටත් ඉහළ නංවා ඇත.

සමන් දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන්නේ සුදු ඇතෙකි. හිමේ හෙවත් ශ්‍රී පාද මාර්ගයේ ඉහළ කොටසේ සුදු ඇත්තු හෙවත් ඇළි ඇතුන් සිටින බව සබරගමු වැසියන්ගේ විශ්වාසයයි.

ශ්‍රී පාද පද්මය හෙවත් ශ්‍රී පාද මළුවේ ඇති බුදු රජාණන් වහන්සේගේ වම් පාද ලාංඡනය වන්දනා කර ගැනීම සිරිපා කරුණාවේ මුඛ්‍ය අරමුණය. කෝඩුකාරයින් ලවා ශ්‍රී පාද පද්මය නළල තබා වැන්දවීම නඩේ ගුරාගේ යුතුකමය.

ස්වස්තික දෙක පිහිටපු සිරි පතුලේ
සිරිවස දෙක පිහිටපු සිරි පතුලේ
නදවට දෙක පිහිටපු සිරි පතුලේ
අපි යමු වඳින්ට ඒ සිරි පතුලේ

මුනි සිරි පාදය මඟුල් ලකුණු 108 කින් සමන්විතය. ඒ ගැන ගැමියා කවියට නැඟු අයුරු ය ඒ.

මාස ගණනක සිට ගෞරවයෙන් හා භක්තියෙන් සිරිපා කරුණාවට පේ වූ අතීත ගැමියා ගමන පිටත් වූයේ සිය ගේ දොර, වතුපිටි දරුවන්ට ලියා තැබීමෙන් පසුව බව සිරිපා ඉතිහාසයේ කියැවේ. අතීතයේ දකුණු ලක මාතර, ගිරුවාය වැනි ප්‍රදේශයන්ගෙන් පැමිණි වන්දනා කරුවෝ නැවත ගම්බිම් බලා ඒමක් ගැන නොසිතූහ. ඔවුහු එදා අති දුෂ්කර සිරිපා ගමනෙහි යෙදුණේ හිතේ භක්තියෙන් හා පූර්ණ ශ්‍රද්ධාවෙනි.

දෙදෙව් ලොවට මම අධිපති වෙන්ටයි
කොදෙව් සතර වට කෙළ ඇවිදින්ටයි
මෙ දෙවි ඉදිරිපිට සිට දෙස් වන්ටයි
සදෙව් ලොවේ දෙවියෝ පින් ගන්ටයි

ආදී ප්‍රාර්ථනාවන්ගෙන් ඔවුහු සිත් සතන් පුරවා ගත්හ.

ඈත අතීතයේ සිට සිරිපා ගමන පිළිබඳ කියැවුණු ජනශ්‍රැති වර්තමානය වන විට සාහිත්‍යය ගත වී තිබේ. පුරාණ සමනල ගමන් විස්තරය, හිමගත වර්ණනාව, තුන් සරණය, සුමන දේවාලංකාරය, සිරිපාද හෑල්ල ආදී පොත්පත් අධ්‍යයනය කළ හැකි ය.

චායාරූප අයිතිය මුල් අයිතිකරුට උපුටා ගැනීම බුදු සරණ පුවත්පත සහ අන්තර්ජාලය ඇසුරෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *