එයාට මගේ කැමැත්ත ගන්න මාස 6ක් බලාගෙන ඉන්න වුනා

“හිතේ කොනකවත් නොහිතපු දෙයක් තමයි අන්තිමට වුනේ..”

“සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්නේ කියලා පෙන්නුවාට ඔය කියන සතුට නැහැ..”

බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ බොහෝ දෙනෙකුගේ ආදරය හිමි වූ ආදරණිය පවුලක් විදිහට රොෂාන් පිලපිටිය හා රිද්මා පිලපිටිය හඳුන්වන්න පුළුවන්. පුංචි පුතු එක්ක ලස්සන ජිවිතයක් ගත කරන රිද්මා එක්ක කතාබහ කරන්න අපි හිතුවා. අලුත් තොරතුරු ගැන රිද්මා කතා කළේ මෙහෙමයි.

රිද්මා කොහොමද ජිවිතේ, අම්මා කෙනෙක් නිසා ඒ වගකීම් එක්ක ජිවිතේ කාර්යබහුල වෙලා ඇති නේද..?

පුතාගේ වයස අවුරුදු එකයි මාස පහයි. තවම පොඩියි. නොතේරුම් වයසක ඉන්න නිසා එයා එක්කම තමයි අපේ ජිවිතේ ගෙවෙන්නේ. හුරතල් වයසක ඉන්න නිසා ඒ හුරතල් විඳිමින් ජිවිතේ ඉදිරියට ගෙනියනවා. පුතා එක්ක තමයි කාර්ය බහුල වෙලා ඉන්නේ. එයා නිසා නිර්මාණවලට ලැබුණු ආරාධනා කිහිපයක් පවා මම ප්‍රතික්ෂේප කළා. එයාව මිස් කරගෙන නිර්මාණ වලට සම්බන්ධ වෙන්න හිතෙන්නේ නැහැ. මොකද එයාගේ හුරතල් කාලය පස්සේ අපිට ගන්න බැරි නිසා. මේ කාලේ තමයි අම්මා කෙනෙක් දරුවෙක් ලඟින්ම ඉන්න ඕන කාලේ.

ඒ කියන්නේ මින් පසු ඔබව රංගනයෙන් දකින්න ලැබෙන්නේ නැහැ කියන එකද..?

ටික කාලයක් යනකල් රංගනයෙන් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් විකාශය වීමට නියමිත නාට්‍යක් තියෙනවා. ඒක විකාශය කරන්න ආරම්භ කළ ගමන් එහි ඉතුරු ටික රූගත කරන්න සම්බන්ධ වෙන්න සිදු වෙනවා. ඒකට දැනට දායක වෙන්න තමයි හිතන්නේ. පසු කාලයකදී නැවත සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා.

රොෂාන් ජනප්‍රිය නළුවෙක් නිසාද ඔබට රඟපාන්න අවස්ථාව හිමි වෙන්නේ..?

එයාව මට මුණගැහෙන්න කලින් තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ. උසස්පෙළ කරලා අවසන් වෙලා 2015 වර්ෂයේ මම ඡවි කල්‍යාණි තරඟ දෙකකට සම්බන්ධ වෙලා ජයග්‍රහණ කරලා තිබ්බා. ඊට පස්සේ ටෙලිනාට්‍යවලට ආරාධනා කිහිපයක් ලැබුනත් ගෙදරින් අකමැති වුණු නිසා මම ඒවාට සම්බන්ධ වුනේ නැහැ. විවාහ වෙන්න කලින් දර්ශන රුවන් අයියාගේ ආරාධනාවකට නාට්‍යකට සම්බන්ධ වුනා. එහෙම කියන්න බැහැ ඉතින්. නමුත් ඔහු දක්ෂ නළුවෙක් වගේම ජනප්‍රිය නළුවෙක්.

රොෂාන්ව මුලින්ම මුණගැහෙන්නේ අහම්බයකින්ම නෙමෙයි නේද..?

අපේ හමුවීම අහම්බයක් නෙමෙයි. එයත් අපේ ගමෙමයි. අයියා නිර්මාණවලට සම්බන්ධ වෙලා ගමේ එනකොට ඒ කාලේ මම පොඩියි. තේරෙන වයසකදී මුණගැහෙන්නේ 2016 වර්ෂයේ. මගේ යාළුවෙක් මුණගැහෙන්න එයා ඇවිත් හිටියා. එදා තමයි අපි වැඩිපුර කතාබහ කළේ. ඊට පස්සේ අයියා මාව ෆේස් බුක් එකේ එහෙම හොයලා තිබ්බා. මැසේජ් කළා. පස්සේ යාලුවෝ වගේ කතාබහ කළා. ඒ කතාබහ දුර දිග ගියා. මුල් කාලේ එයා මට විවාහ යෝජනා කරද්දී මම කැමති වුනේ නැහැ. එයාට මගේ කැමැත්ත ගන්න මාස 6ක් බලාගෙන ඉන්න වුනා. දවසක් එයා නැවත මට යෝජනා කරද්දී මම කිව්වා මගේ අම්මගෙන් අහන්න. දෙමාපියන් කැමති වුනොත් මම කැමති වෙන්නම් කියලා. නමුත් දෙමාපියන්ගෙන් අහන්න කලින්ම මටත් නොදනිම මගේ කැමැත්ත එයාට දුන්නා. ඒත් එක්කම අපි දෙන්නගේ සම්බන්ධය ඉක්මණට සමාජ වුනා. පස්සේ දෙමාපියන්ට අපි කිව්වා. ඒ සම්බන්ධය තමයි විවාහය දක්වා දුර දිග ගියේ.

ජනප්‍රිය තරු විවාහ වෙන ඉක්මණට වෙන් වෙනවා කියලා මතයක් තියෙනවා, ඒ වගේ පසුබිමක නළුවෙක් බඳින්න බය හිතුනේ නැද්ද..?

අපේ සම්බන්ධය දැනගත්තට පස්සේ ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක්ම මට කෝල් කරලා කිව්වා රොෂාන් එක්ක සම්බන්ධ වෙන්න එපා කියලා එක එක කතා කිව්වා. නමුත් මම ඒවාට ඇහුම්කන් දුන්නේ නැහැ. මොකද සමහර මිනිස්සු තව කෙනෙකුට හොදක් වෙනවට කැමති නැති නිසා කතා කියනවා. ඊර්ෂ්‍යා කරනවා. ඒ කතාවලින් මම තේරුම් ගත්තේ ඒක.

මොකද රොෂාන් අයියව ආශ්‍රය කරද්දී එයා කොච්චර හොඳ කෙනෙක්ද කියලා මම තේරුම් ගත්තා. එයා හොඳ පුද්ගලයෙක් නිසා මට එහෙම බයක් දැනුනේ නැහැ. ඒ වගේම රොෂාන් කියන්නේ මත්පැන් ගන්න සිගරට් ගන්න කෙනෙක් නෙමෙයි. දහමට ලැදි කෙනෙක්. එයා ජිවත් වෙන විදිහක් තියෙනවා. හරිම සරල ජිවිතයක් එයාට ගත කරන්න ඕන. අවශ්‍ය උත්සවයකට විතරයි අපි සම්බන්ධ වෙන්නේ. ඒ වගේ දේවල් එක්ක අපි දෙන්නගේ ගැලපීම් එක වගේ තියෙන්නේ. ඒ ගැලපීම අපේ පවුල් ජිවිතේ ශක්තිමත් කරයි කියන විශ්වාසය මට තියෙනවා. ඒ නිසා එදත් බය වුනේ නැහැ. අදත් මම බය නැහැ. මම කාගේවත් වචන විශ්වාස කරලා තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. මම තීරණයක් ගත්තොත් ඒ තීරණය වෙනස් කරන්නෙත් නැහැ.

රිද්මා නළුවෙක් එක්ක විවාහ වෙන සිහිනයක හිටපු කෙනෙක්ද..?

කොහෙත්ම නැහැ. මම කවදාවත් හිතලා තිබ්බේ නැහැ නළුවෙක් එක්ක විවාහ වෙන්න. මට තේරෙන කාලේ ඉදලා මම හිතුවේ හොඳ ගතිගුණ තියෙන පවුලට ලැදි, හොඳ පවුල් පසුබිමක් තියෙන කෙනෙක් එක්ක විවාහ වෙලා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්න. නමුත් හිතේ කොනකවත් නොහිතපු දෙයක් තමයි අන්තිමට වුනේ. රොෂාන් අයියා නළුවෙක් වුනත් ඔහු හොඳ පුද්ගලයෙක්. මම බලාපොරොත්තු වුනු ගති ඔහු ළඟ තියෙනවා.

පුතා ගැන කිව්වොත්..ඔබ ප්‍රර්ථනා කළෙම පුතෙක් ලැබෙන්න කියලා කියන්නේ ඇත්තද..?

හැමෝම කියන්නේ පුතා අයියා වගේමයි කියලා. දරුවෙක් ඉපදෙන්න ඉන්නේ කියලා දැනගත්ත මොහොතේ ඉදලා මම ආසාවෙන් හිටියේ පුතෙකුට. මම නිතරම කිව්වේ මට පුතෙක්ම ඕන කියලා, ඒ කතාව ඇත්ත . මගේ ඒ ප්‍රාර්ථනාවත් ඉටු වුණා.

බොහෝ පවුල් ජිවිත ගත කරන්නේ සුන්දර ලස්සන ජිවිතයක් බව සමාජ මාධ්‍යවලට නිරාවරණය වුණාට ඇත්ත ජිවිතේ ඊට හාත්පසින්ම වෙනස් කියලා බොහෝ දෙනෙක් හිතනවා..ඒ ගැන රිද්මාට කියන්න තියෙන්නේ මොනවාද..?

කොහොමත් ෆේස් බුක් එකේ, හෝ වෙනත් සමාජ මාධ්‍යක ෆොටෝස් දාගෙන හොඳට ජිවත් වෙනවා, සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්නේ කියලා පෙන්නුවාට ගොඩක් පවුල් ඇතුලේ ඔය කියන සතුට නැහැ, ප්‍රශ්න තියෙන්නේ. මම දන්න බොහෝ අයත් එහෙමයි. නමුත් හොඳ බැදීමකට තේරුම් ගැනීම තියෙන්න ඕන. සාමාන්‍ය විදිහට අපි අතරත් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අපි දෙන්නගේ ආදරේ, තේරුම් ගැනීම නිසා ඒ ප්‍රශ්න සුළු මොහොතයි තියෙන්නේ. අපි දෙන්නා තේරුම් අරගෙන ජිවත් වෙන නිසා අපි නම් හරි සතුටින් ජිවත් වෙන්නේ.

හර්ෂණී වීරරත්න

Leave a Reply