අම්මි හදන කෑමවල රසය මට ගන්න බැහැ

තමාටම ආවේණික වූ රංගන කෞශල්‍යයකින් එදා මෙදා තුර ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන රංගන ශිල්පිනියක් ලෙසට අංජුලා රාජපක්ෂව හඳුන්වා දිය හැක. රූපවාහිනි නාලිකා කිහිපයකම මේ දිනවල විකාශය වන නාට්‍ය බොහොමයකින් ඔබේ ආලින්දයට එන ඇය අපි අද ලස්සන කුස්සියයෙන් හමුවුණෙමු.

• කොහොම ද අංජුලා

හොඳින් ඉන්නවා. අද කුස්සියේ වැඩ ඔක්කොම කෙරෙන්නේ මගේ අතින්

• ඇයි වෙන දවස්වලට කවුද උයන්නේ

මට ගොඩක් ෂුටින් වැඩ වැටුණාම අම්ම තමයි උයන්නේ. ගෙදර ඉන්න දවසට ඉතින් කෑම බීම හදන වැඩ කරන්නේ කුස්සිය අස්කරන්නේ මම.

• හැමෝම ආසාවෙන් කන රසටම හදන කෑම වර්ගය මොනවා ද?

ම් ඉස්සර ඉදලාමනම් මට හොඳට ඩෙවල් වර්ග බයිට් වර්ග හදන්න පුළුවන්. ඊට අමතරව මම හදන පොළොස් කරියටත් හැමෝම කැමතියි.
අනිත් කෑමත් ඉතිං රසට හදනවා. ඒත් සමහර වෙලාවට මට හිතෙනවා මගේ අම්මී හදන කෑමවල රස තාමත් මට ගන්න වුණා කියලා. එයා හදනවා පොල් සම්බෝලයක්. ඇත්තටම හිතා ගන්න බෑ ඒක කොහොම ද හදන්නේ කියලා.

• මහත්තයාටත් උයන්න පුළුවන් ද?

අම්මෝ ඔව්. හරිම රසට අයියාට (රංග වීරකෝන්) හොඳට උයන්න පුළුවන්. එයා හදන Italian Food වලට මම ගොඩක් ආසයි. කොහේ තියෙන අත්ගුණයක් ද දන්නෑ එයා මොන කෑම හැදුවත් හරිම රසයි.

• ස්වාමියාගෙන් මුළු තැන්ගෙයි කටයුතුවලට සහයෝගයක් ලැබෙනවාද?

ඔව්. ලොකු සහයෝගයක් ලැබෙනවා. එයා කවදාවත් හිතලා නෑ. කාන්තාව තමයි කුස්සියේ ඉන්න ඕනේ කියා. එයා මට කලින් නැගිට්ටොත් මට තේ එක පවා හදලා ගෙනත් දෙනවා. මම රාජකාරි නිසා ගොඩක් වෙහෙසන දවසට එයාට නිවාඩුවක් ලැබී තිබුණොත් එයා මටයි අම්මටයි තාත්තිටයි එක්ක රසට කෑම හදලා තියෙනවා. එයා ඒක කවදාවත් වදයක් කියා හිතලා නෑ. කුස්සියේ උයන්නේ හරිම සතුටින් විනෝදයෙන්.

• කුස්සිය කාන්තාවකට විතරක් උරුම තැනක් කියලානේ ගොඩක් අය හිතන්නේ.

මම හිතන්නේ එහෙම මානසිකත්වයක් ඇවිත් තියෙන්නේ දඩයම් යුගයෙන්. ඒ කාලෙ ස්වාමියා දඩයමේ ගිහින් කෑම සොයාගෙන එනවා. බිරිඳ ළමයි බලාගෙන ගෙදරට වෙලා හිටියා. දැන් 21 වන සියවසේ. හැමෝම වෙනස් වෙලා. අද වෙන විට කාන්තාවක් පවුලේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. එවැනි වටපිටාවක සැමියකුගේ සහයෝගය නිවසට අත්‍යවශ්‍යම වෙනවා. අනිත් දේ තමයි මම හිතනවා අම්මා කෙනෙක් දුවෙක් පුතෙක් කියලා. නැතුව මුළුතැන් ගෙයි කටයුතු උගන්වන්න ඕනේ. මගේ මල්ලීට පුංචි කාලේ ඉඳලාම අම්මා උයන පිහන වැඩ ගෙදර දොරේ වැඩ හැම දේම කියලා දීලා තිබුණා. අද එයා විවාහකයි. සාර්ථක පවුල් ජීවිතයකට ඔහුගෙන් ලැබෙන දායකත්වය හරිම ඉහළයි. පිරිමියෙකු කුස්සියේ වැඩ කරනවා. කියන්නේ ලජ්ජාවට කාරණයක් නොවේ. එවැනි හැකියාවක් පවුලටම ආශිර්වාදයක් වෙනවා. ඒක ගොඩක් වටිනවානේ.

• ඔබ හදන කෑම බීම සැමියා අගය කරනව ද?

අපෝ ඔව්. මොනවා හැදුවත් කවදාවත් මොකුත් කියන් නෑ. සතුටින් කනවා. සමහර වෙලාවට ලිපේ තියෙද්දිත් බාගෙට තැම්බිච්ච එළවළුවක් වුණත් එයා සතුටින් කනවා.

• මුළුතැන්ගෙයි ඉවුම් පිහුම් කරද්දි සිංදු අහගෙන රේඩියෝ අහන්න පුරුදු වෙලා ඉන්නවාද?

නැහැ. උයනකොට ඒ වගේ සද්ද බද්ද ඇහෙනවා. කියන්නේ වදයක්. කරන වැඩේ හරියට කරගන්න වෙන්නේ නෑ. උයන එක කලාවක්. මම හිතනවා ඒක භාවනාවක් වගේ නිශ්ශබ්දව කල්පනාවෙන් කළ යුතුයි කියලා.

• උයනකොට කවුරුත් උදව්වට එනවාට කැමැති නැද්ද?

මම ආසයි තනියම උයන්න. අම්මත් එක්ක එහෙම දෙන්නාම එකට උයන්න ගියොත් යුද්ධ පිටියක් වෙන්න පුළුවනි.

• කෑම රස වෙන්න අත්ගුණේ බලපානවද?

ඔව්. නේද. එකට ව්‍යාංජනයට එකම ප්‍රමාණයේ කුළු බඩු දාලා 10 දෙනෙකුට හදන්න දුන්නොත් එන්නේ රසවල් දහයක්. ඒනිසා මම හිතනවා අත්ගුණේ කියලා එකක් තියෙනවා කියලා.

• කෑම රස කරන කුළු බඩු ගෙදරම ද හදා ගන්නේ?

ඔව්. අවශ්‍ය දේවල් අම්මා ගෙදරම හදා ගන්නවා.

• කළමනාකරණය කර ගන්න මොනවද කරන්නේ?

උයන දේවල් කලින් ප්ලෑන් කරනවා. අද දවසේ හදන ව්‍යංජන ටිකට අවශ්‍ය ලූනු අමුමිරිස් රම්පේ, කරපින්චා ඔක්කොම කපලා තියා ගන්නවා. ඊට පස්සේ උයන එළවළු කපා හරිම ඉක්මනට කෑම ටික උයාගන්න පුළුවනි.

• ඇතැම් කාන්තාවෝ කුස්සියටම කොටුවෙලා කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙනවා. සමහර අය කියනවා ඇහිලා තියෙනවා. තුන්වේලමට උය උය කුස්සියේ ඉඳලා එපා වෙලා කියලා. මම හිතන්නේ ඒ දේ කාන්තාවෝ විහින්මයි කර ගන්නේ. කළමනාකාරිත්වයක් නැති වුණාම ජීවිතේ හැමදාම විවේකයක් නැති දෙයක් වෙන්න පුළුවනි.

• අරපිරිමැස්ම වෙනුවෙන් මොනවද කරන්නේ?

ඉස්සර අපේ අම්මලා කළා වගේ හාල් මිටක් අරං මුට්ටියකට එකතු කරනවා වගේ දේවල් නම් වෙන්නෙ නෑ. නමුත් මම හිතනවා ගෙදරට ගෙන හැම දේම අමුමිරිස් කරල තක්කාලි ගෙඩිය පවා අහක නොයා රැක ගන්න පුළුවන් ශක්තියක් නිවසේ කාන්තාවට තිබිය යුතුයි. පුරුද්දක් විදිහට මම ගෙදරට ගේන එළවළු කිසිම දෙයක් ෂොපින් බෑග් වල දාලා කඩදාසි කොළවල ඔතලා ෆිජ් එකට ඔබන් නෑ. එහෙම කළාම වෙන්නේ එකක් ඇතුළේ තියෙන්නේ මොනවාද කියා බලන්න ඔක්කොම ඇර ඇර බලන්න වෙනවා. අනික් දේ තමයි පොලිතින් මුද්‍රණ තීන්ත අඩංගු කඩදාසි ෆිජ් එක ඇතුළේ තිබිය දී රසායන සංයෝජනයකට ලක්වෙලා ශරීරයට අහිතකර වෙන්න පුළුවන්. මේ නිසා මම කරන්නේ ගෙදරට අවශ්‍ය එළවළු ගෙනාවාම හොඳට සෝදලා වතුර බේරෙන්න තියලා විනිවිද පේන කන්ටේනර් වල අසුරනවා. පිළිවෙළට ෆිජ් එකේ අඩුක් කරනවා. එහෙම කළාම ෆිජ් එකේ තියෙන්නේ මොනවාද කියා හරිම ඉක්මනට අපිට බලා ගන්නත් පුළුවනි. ගන්නත් ලේසියි. අහක යන්නෙත් නෑ, මාළු මස් ගෙනාවත් එහෙමයි. හොඳට හෝදලා අපි 4 දෙනාට දවසකට අවශ්‍ය ප්‍රමාණයට බෙදලා ඒ හැම ප්‍රමාණයකටම සුදුලූනු, ඉඟුරු, ලූනු කහ අතගාලා වෙන වෙනම භාජනවල දාලා තමයි ෆිජ් දාන්නේ.

• ඇතැම් කාන්තාවන් රාත්‍රී ඇඳුමෙන් උදෑසන කාලය පවා ගත කරනවා. ඔබ එවැනි දේ අනුමත කරනවාද?

නැහැ. කිසිසේත්ම නෑ. නයිට් ​ෙඩ්‍රස් එකක් කියන නමේම තියෙනවානේ එක උදෑසනට ගැලපෙන්නේ නෑ කියන එක. ඒ නිසා මම හිතන්නේ කාන්තාවක් රාත්‍රී ඇඳුමෙන් උදේ 10-11 වගේ වෙනකම් ඉන්නවා කියන්නේ ඇත්තටම අප්‍රසාදයට පත්වෙන කරුණක්.

• කුස්සියේදි ඉද්දි ඔය ලස්සන රූපය ආරක්ෂා කර ගන්න මොනවා හරි කරනවා ද?

උයලා ඉවර වුණ ගමන් හොඳට බොඩි වොෂ් එකක් දානවා. මේ ඇරෙන්න ඉතිං බිත්තරයක් බැද්දත් මුණ හෝද ගන්න පුරුද්දක් නම් මට තියෙනවා. මොකද කුස්සියේදී තෙල් දුම දහඩිය එකට මිශ්‍ර වෙලා ශරීරයට විශේෂයෙන්ම මුහුණට අහිතකර තත්ත්වයක් මතුවිය හැකි නිසා.

අසුන්තා එදිරිසූරිය / සිතුවම: සමන් කළුබෝවිල

Leave a Reply