මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ නාඩගම්කාරයෝ වෙනුවෙන්

මේ දිනවල නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණයේ “කවඩියා”ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඔහු නමින් සංගීත් ප්‍රභූයි. රංගනයට පමණක් සීමා නොවුණ ඔහු මේ වනවිට නිරූපණ ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක් මෙන්ම ව්‍යාපාරිකයෙක්.

ඔබ බොහෝ නිර්මාණවල පසුගිය දවස්වල දකින්න ලැබුණා. මේ දවස්වල වැඩකටයුතු හොඳින් කෙරෙනවද?

ගොඩක් හොඳින් කරගෙන යනවා. මේ දවස්වල නාඩගම්කාරයෝ එක්ක හොඳ නාඩගමක් කරන්න ලෑස්ති වෙනවා. යම්කිසි කාලයකට පසුව වෙනස්ම විධියකට හොඳ විස්තරයක් දෙන්න තමයි හදන්නේ. ඉතින් මේ දවස්වල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ නාඩගම්කාරයෝ වෙනුවෙන්.

නාඩගම්කාරයෝ කියන්නේ ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් නේද? 

ඔව්. නාඩගම්කාරයෝ කියන්නේ හාස්‍ය මුසු වුණු සාම්ප්‍රදායික බව කැටි වුණු නාඩගම්, සංගීතය සහ නැටුම් එක්කාසු වුණු ලස්සන නිර්මාණයක්. සරා, කවඩියා, සුද්දා කියන චරිත වටා ගෙතුණු කතාවක්. නාඩගම්කාරයෝ ඉක්මනින් ප්‍රේක්ෂකයන් අතරට ගියා කියලා මම හිතනවා.

කවඩියා කියන්නේ ඔබ මෙතෙක් රංගනයෙන් දායක වුණු චරිතවලට වඩා වෙනස් චරිතයක් නේද?

ඇත්තෙන්ම ඔව්. කවඩියා කියන්නේ බුලත් විටක් කාගෙන ඉන්න අමුතුම චරිතයක්. චරිතයක් තෝරා ගැනීමේදී සහ නිර්මාණයක් භාරගැනීමේදී මම හැමවෙලේම හිතන්නේ මගේ චරිතය තුළ වෙනසක් කරන්නේ කොහොමද? අලුත් දෙයක් කරන්නේ කොහොමද? කියලා. චරිතය වෙනුවෙන් උපරිම දායකත්වයක් ලබාදෙන්න තමයි මම උත්සාහ කරන්නේ. මම නළුවෙක් වෙන්නම ඉපදුණු කොල්ලෙක්.

ඔබ දැන් ව්‍යවසායකයෙක් නිසා පසුකාලීනව කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්නද හිතාගෙන ඉන්නේ?

නැහැ. ඇත්තටම එහෙම අදහසක් නැහැ. මේ වෙනකොට රංගන ශිල්පියෙක් වශයෙන් සෑම දෙයක්ම තියෙනවා. නමුත් රංගනයට අමතරව පෞද්ගලික ජීවිතයේ මම ලබාගත යුතු දේවල් තියෙනවා. මම කැමැති දේවල් තියෙනවා. මම උපයා ගත යුතු දේවල් තියෙනවා. ඒ නිසාම තමයි මම ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතුවේ. ඒ විධියට රංගනය සහ ව්‍යාපාරය සමඟ මගේ ජීවිතය සමබරව ගලා ගෙන යනකොට මම කලාවෙන් ඉවත් වෙයි කියලා මම හිතන්නේ  නැහැ. මම උත්සාහ කරන්නේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළටම යන්න.

ඇත්තටම සැලෝන් එකක්ම පටන් ගන්න හිතුවේ ඇයි?

ලස්සනට ඉන්න හැමෝම කැමැතියි. රූපලාවණ්‍ය කියන්නේ හැමෝගෙම අවශ්‍යතාවක්. සැලෝන් එකක් කියන්නේ වෘත්තිය තුළ මට ගොඩක් උදවු කරන දෙයක්. මම රූගත කිරීමකට ගියත් මම මගේ කොණ්ඩය ගැන, රූපය ගැන, ඇඳුම් පැල¾දුම් ගැන හිතන්න ඕනි. ඉතින් මම තීරණය කළා මගේ වෘත්තියට ගැළපෙන මට ගැළපෙන දෙයක් කරන්න. ඒ විධියට තමයි සැලෝන් එකක් පටන් ගන්නවා කියලා හිතුවේ.

කලා ක්ෂේත්‍රය තුළ ස්ථාවර වෙන එක තරමක් බැරෑරුම් කාර්යයක්. ඔබ ඒ වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග මොනවද?

මම පොඩි කාලේ ඉඳලම හීන දැක්කෙ රංගන ශිල්පියෙක් වෙන්න. මම ඒ හීනය හැබෑ කරගත්තා. මට පුළුවන් වුණා රංගන ශිල්පියෙක් වෙන්න. පිහියක් වුණත් කැපෙන්නේ හොඳින් මුවහත් කළාම. ඒ වගේම තමයි රංගන ශිල්පියකුට අත්දැකීම් කියන දේ ගොඩක් වැදගත්. මම තවමත් අත්දැකීම් ලබාගනිමින් ඉන්නවා. මැණිකක වටිනාකම වැඩි වෙන්නේ හොඳින් කපලා ඔප මට්ටම් කළාට පස්සේ. එක එක විධියේ ගැනුම්කරුවෝ අතට පත්වෙලා ඔවුන් විසින් මැණික එක එක විධියට ඔපමට්ටම්  කරනවා. එහෙම කරන්න කරන්න මැණික වටිනාකමෙන් වැඩි වෙනවා. ඒ වගේම තමයි රංගන ශිල්පියාත්. ඔවුන් විවිධ පාර්ශ්ව සමඟ වැඩ කරලා අඩුපාඩු හදාගනිමින් ඉගෙන ගනිමින් හැකියාවන් වැඩිදියුණු කර ගනිමින් ඉදිරියට යා යුතුයි. අත්දැකීම් වැඩි වෙන්න වැඩි වෙන්න රංගන ශිල්පියා කියන කෙනාත් මුවහත් වෙනවා සහ ඔපමට්ටම් වෙනවා.

ප්‍රභූ කියන්නේ brand එකක්ද?

මගේ නමේ මම ආසම කොටස තමයි ප්‍රභූ කියන්නේ. ඇත්තටම ඒ නම ලංකාව ඇතුළේ හොඳ brand එකක් කරන්න තමයි මම සැලසුම් කරන්නේ. මේ දවස්වල ඒ වෙනුවෙන් පසුබිම සකසමින් ඉන්නවා. මුල්ම පියවර විධියට තමයි මම online store එක පටන් ගත්තේ. ඒ කටයුත්ත තව තවත් වැඩිදියුණු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අපි බලමු ඉදිරියට ලොකු වෙනසක් වෙයි.

ඇස් ඇරගෙන හීන දකින අපේ කාලයේ කතාව එහෙමත් නැත්නම් පෝර්ක් වීදීය කියන්නේ මොකද්ද?

පෝර්ක් වීදිය කියන්නේ අසංක සායක්කාරගේ පිටපත් රචනයක්. සාලින්ද රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන වෙනස් නිර්මාණයක්. ඔහුගේ පළමු වැනි නිර්මාණය තමයි පෝර්ක් වීදිය කියන්නේ. මේ කතාවේ තියෙන්නේ වත්මන් සමාජයේ මිනිසුන්ගේ ජීවිතවල සැබෑ පැතිකඩ. ණය ගෙවාගන්න බැරිව, ගෙදර කුලිය ගෙවා ගන්න බැරිව, කන්න බොන්න නැතිව, මෙතෙක් ගොඩනඟා ගත් ප්‍රතිරූපය නඩත්තු කරගන්න බැරිව, ආර්ථිකය කඩාවැටුණු මිනිස්සු ගෙවන ජීවිතය පිළිබඳව තමයි නිරූපණය වෙන්නේ. මම හිතනවා පෝර්ක් වීදිය කියන්නේ ලංකාව ඇතුළේ වෙනසක් කරන්න පුළුවන් වෙන වැඩක් කියලා.

අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
මට වඩා දක්ෂ ගොඩක් අය තව ලංකාවේ ඉන්නවා. නමුත් මම හිතනවා මගේ දක්ෂතාව සහ කැපවීම මට ක්ෂේත්‍රයේ නිසි තැන ලබා දුන්නා කියලා. මම දායකවුණු හැම නිර්මාණයකටම සාධාරණය ඉෂ්ට කළා කියලා මම හිතනවා.

1

2

3

Leave a Reply