වැඩිහිටි, තරුණ ගොඩදෙනෙක්ගේ ආදරය ලබන තරුණ සංගීතඥයෙක් විදිහට කසුන් කල්හාර හඳුන්වන්න පුළුවන්. ප්‍රථම වතාවට ඔහු රියැලිටි වේදිකාවක දකින්න ලැබීම ගොඩදෙනෙක්ගේ කතාබහට ලක්වුණ කාරණයක්. ඒ අත්දැකීම් සහ තවත් දේවල් රාශියක් ගැන හදගැස්ම සමඟින් කතා කරන්න එකතු වුණු අවස්ථාවයි මේ.
ඔබ ප්‍රථම වතාවට රියැලිටි වේදිකාවක විනිශ්චය භූමිකාවක දකින්නට ලැබෙනවා. ඒ අත්දැකීම ගැන කතා කරන්න කැමැතියි?
ඇත්තටම ඒක විනිශ්චය කියලා හැඳින්වුවහොත් වැරැදියි. ඒ වැඩසටහන වර්ක්ශොප් ලෙවල් එකෙන් කෙරෙන වැඩක්. කෙනෙක් අපි ඉස්සරහ සින්දු කියද්දි අපිට කියන්න පුළුවන් එයා හොඳ ගායකයෙක් කරන්න පුළුවන්ද බැරිද කියන එක. අන්න ඒ දැනීමේ ඉඳලා තමයි අපි එයාලව අපේ ටීම්වලට තෝරගන්නේ. අපි විනිශ්චයට අමතරව තෝරාගන්නා අයගේ හැකියාව ඔපමට්ටම් කළ යුතුයි. වෙනත් රියැලිටි තරගවල වගේ මෙයා හො¼දයි කියලා ඉදිරියට අරගෙන ගිහින් සම්මානයක් හරි ගෙයක් හරි හදලා දෙන එක මෙතැනදී වෙන්නේ නෑ. අපි එයාලව පුහුණු කරවනවා. එයාලා දිනුවා හෝ නැතා යම්කිසි දවසක ඒ පුහුණුව එයාලට වටිනවා. අන්න ඒ දේ ගැන හිතලා තමයි මම කැමැති වුණේ. අනික මේ කාලය ජීවත් වෙන්න ඉතාමත් අමාරු කාලයක්. ප්‍රශ්න තියෙනවා. ඒක හැමෝටම වගේ මටත් පොදුයි. ඒ ප්‍රශ්න විස¼දාගන්නත් ඕනි. ඉතිං මට මාව පාවා නොදී ඒ ප්‍රශ්න විසදාගැනීමකට ලක් කරගන්න පුළුවන් නම් මම හිතනවා ඒක තමයි සාර්ථකම දේ.
මෙවැනි තරගයකට සහභාගි වීමෙන් ඔබේ ප්‍රතිරූපයට හානි වන බව ඇතැමුන් පැවැසුවා?
මම හිතන්නේ එහෙම හානියක් සිදුවෙන්නේ නැහැ නේද? ගොඩදෙනෙක් කතා කරලා කිව්වේ මම හොඳයි කියලා. ඉතිං මමත් හිතනවා මම හොඳ ඇති කියලා. හානියක් නම් වුණේ නැහැ.
රියැලිටි ගායන තරගවලින් බිහිවන ගායක ගායිකාවන්ගෙන් බහුතරයක් ක්ෂේත්රය තුළ දිගුකාලීනව රැඳෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ඇයි?
එහෙම වෙන්නේ මාධ්‍ය ආයතනවල තිබෙන කුහකකම නිසා. නම් ගම් අවශ්‍ය නැහැ. නමුත් බොහෝමයක් එහෙමයි. මේ කාලයේ අපි අහන දකින හැම ටීවී චැනලයක්ම, හැම රේඩියෝ චැනලයක්ම ජඩ මාධ්‍යකරණය කියනදේ හැමතැනටම ඇප්ලයි කරලා. ඒක නිව්ස් එකේ සිට, දේශපාලනයේ සිට, කලාව දක්වාම ගිහිල්ලා ඉවරයි. එවැනි තත්ත්වයක් මත රැඳී සිටීමේ යම් අපහසුවක් තිබෙනවා. එය වෙනස් කිරීමට අපි සටන් කළා. නමුත් එය එසේ වෙනස් කරන්න බෑ කියන තැනට දැන් ඇවිල්ලා තිබෙන්නේ. හැමදෙයක්ම රැඳී තියෙන්නේ එවැනි මාධ්‍යකරණ වටපිටාවක නම් අන් දේවල් ගැන කවර කතාද? අනෙක් කතාව තමයි ගීතවල හිමිකරුවන්ට මාධ්‍යවලින් ගීත ප්‍රචාරය කරද්දී ලබාදිය යුතු මුදල් හරියාකාරව ලැබෙන්නේ නැහැ. ඇතැම් ආයතනවලින් ඒ මුදල් ලබා දුන්නත් ඇතැම් ආයතන එය පැහැර හරිනවා. එතැනදී ගොඩාක්ම අසාධාරණයට ලක් වෙන්නේ පද රචකයා සහ සංගීතඥයායි.
ඔබ නැවතත් රියැලිටි වේදිකාවක දකින්න ලැබේවිද නැතිනම් මෙය අවසාන රියැලිටි තරගයද?
මම හිතන්නේ නැහැ නැවත සහභාගි වෙයි කියලා. මීට කලිනුත් මේ තරගයට අදාළ නාළිකාවේ ආරම්භ කරපු වෙනත් තරගයකටත් මට කතා කළා. නමුත් මම ගියේ නැහැ. ඉන්පසු ඔවුන් ඒ තරගයට පැමිණි ළමයින්ව පුහුණු කරලා දෙන්න කිව්ව නිසා පුහුණු වීම් කරන්න සම්බන්ධ වුණා. කෙනෙක්ට දැනුමක් ලබා දෙන්න, උදව්වක් කරන්න අවශ්‍ය වුණොත් අනිවාර්යයෙන් එය මට පුළුවන් ආකාරයට ලබා දෙනවා. මේ දිනවල නොකෙරුවට මම වෘත්තීය වශයෙන් ගායනය සම්බන්ධව ළමයින්ව පුහුණු කරවන ගුරුවරයෙක්. ඒක මට නොකර ඉන්න බැහැ. ඒ නිසාම තමයි මේ තරගයට සහභාගි වුණෙත්.
කොරෝනා වසංගතය ඍජුවම සංගීත ක්ෂේත්රයටත් බලපෑවා. රජයෙන් ලබා දුන් සහන ගැන තෘප්තිමත්ද?
අපි රජයට විවිධ යෝජනාවල් කරලා තිබෙනවා. මේ අවස්ථාවේ විතරක් නොවෙයි බෝම්බ පිපිරීම සිදුවුණ අවස්ථාවේ පැවැති රජයටත් අපි විවිධ යෝජනාවල් භාර දුන්නා. නමුත් කිසි දෙයක් සිදුවෙලා නැහැ. මේ වගේ තත්ත්වයක් තුළ මුලින්ම කඩන් වැටෙන්නෙ කලාව. අන්තිමට නැඟිටින්නේ කලාව. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතුවූවන්ට පඩියෙන් භාගයක් හෝ ලැබුණා. නමුත් කලාකරුවෝ මේ වෙලාවේ මොකක්ද කරන්නේ? රංගන කාර්යයෙහි යෙදෙන අයට සෞඛ්‍ය නීතිරීතීන්ට අවනතව රූගත කිරීම් කරන්න අවසර දී තිබෙනවා. ඒ වගේ සංගීත ක්ෂේත්රයටත් ඔවුන්ගේ වැඩකටයුතු කරගෙන යන්න අවසරය දුන්නත් මිනිස්සු එයිද ප්‍රසංග බලන්න? මිනිස්සු දැන් බලන්නේ ජීවත් වෙන්න විදිහක්. වෙනත් රටවල නම් රජයෙන් මේ වගේ අවස්ථාවල යම්කිසි මුදලක් ලබාදෙවා. නමුත් අපේ රටේ ඒක කරන්නත් බැහැ. මොකද රටම ඉන්නේ ගෙවා ගන්න බැරි ණය ගොඩක. එවැනි මොහොතක රජයෙන් යමක් බලාපොරොත්තු වෙන්නත් බෑ. මේ සියල්ල යථා තත්ත්වයට පත්වෙලා අවසානයට තමයි කලාව නැඟිටින්නේ.
කලාකරුවො දේශපාලන මතවාද වෙනුවෙන් පෙනී සිටින අවස්ථා අපි දකිනවා. ඉදිරියේදී ඔබත් එවැනි නියෝජනයක් කරයිද?
නැහැ. මතවාද තිබෙනවා. නමුත් අපේ මතවාදයන් පක්ෂග්රාහී නෑ. ඒ නිසා ක්‍රියාකාරි දේශපාලනයක් තුළට එන්න බලාපොරොත්තුවක් නැහැ.
වර්තමානයේ නිර්මාණය වන ගීත ගුණාත්මක බවින් ඉහළයිද කියන ගැටලුව මතුව තිබෙනවා. ඒ සම්බන්ධව ඔබ මොකද හිතන්නේ?
ජනප්‍රිය වන ගීත ගුණාත්මක අතින් ඉහළයිද නැද්ද කියලා බලන එක නම් බොරු වැඩක්. මේ සියලු දේවල් පවතින්නේ අපි ජීවත් වෙන සමාජය කොයිතරම් දුරට සංස්කෘතිකයිද කියන කාරණාවත් එක්ක. කලාව තියෙන්නේ සංස්කෘතික මිනිස්සු ළඟ. අසංස්කෘතික මිනිස්සු ළඟ කලාවක් නැහැ. සංස්කෘතික මිනිසාට ගෝචර වන කලාව අසංස්කෘතික මිනිසාට ගෝචර නොවෙන්න පුළුවන්. ඔබ ඔය මතු කළ කාරණය ඇතිවන්නේ සංස්කෘතික මිනිසුන්ට. අනික ගුණාත්මකභාවය කියන එක ගැන තේරුම් යන්නෙත් තැන් දෙක තුනකදී විතරයි.
වර්තමානයේ ඔබ නිර්මාණ කටයුතුවල නියැළෙනවා අඩුයි වගේ. ඒ ඇයි?
ඇත්තටම අඩු වෙන්න එක හේතුවක් තමයි මීට කලින් සිදුවුණු බෝම්බ පිපිරීම සහ ඉන් අනතුරුව ඇති වුණු මේ වසංගත තත්ත්වය. මේ නිසා මිනිස්සු ඉන්නේ ඉතාමත් ලොකු පීඩනයක. ඒ ඇතුළත කරන නිර්මාණයක් වුණත් මිනිස්සුන්ට වැලඳගන්න විධියක් නැහැ. අනික මේ වගේ අවස්ථාවක හිත හදාගෙන ටී.වී. රේඩියෝවල දාලා නිර්මාණ ප්‍රමෝට් කරන්නේ කොහොමද? අප්‍රේල් 21 ප්‍රහාරයෙන් හානියට ලක්වුණු මිනිස්සුන්ට තවමත් සාධාරණයක් ඉෂ්ට වෙලාත් නැහැ. ඊට පස්සේ මේ වසංගත තත්ත්වය ආවා. ඒ වගේ තත්ත්වයක් උඩ අපි එන්ටර්ටේන්මන්ට් දේවල් ප්‍රමෝට් කරනවා කියන්නේ මහ ජරා වැඩක්. මගේ ජීවිතයේ පැවැත්ම වෙනුවෙන් යම්කිසි දේවල් කරන්න සිද්ධ වෙනවා. නමුත් ප්‍රමෝට් කරන්නේ මම නෙවෙයි.
සිනමාව වෙනුවෙන් ඉදිරියේදී ඔබේ දායකත්වය ලැබෙන්නේ කොහොමද?
ඇත්තටම පවතින තත්ත්වයත් එක්ක සිනමාවත් කඩන් වැටිලා තියෙන්නේ. නමුත් මම භාරගත්ත සිනමා නිර්මාණ කිහිපයක් තියෙනවා. ඒ ටික කරගෙන යනවා. ඊට අමතරව උපුල් ශාන්ත සන්නස්ගලගේ “නිර්වාන” කියන ෆිල්ම් එක එන්න තියෙනවා. මමත් ෆිල්ම් එකක් කරන්න හිටියේ. නමුත් තියෙන ප්‍රශ්නත් එක්ක ඒක කරගන්න ලැබුණෙ නැහැ. යාළුවෝ කිහිපදෙනකු එක්කත් අලුත් වැඩ කිහිපයක් පටන් ගත්තා. ඕවා තමයි දැනට සිද්ධවේගෙන යන්නේ.
වර්තමානයේ ගීතයට වඩා ප්‍රේක්ෂකයා ග්‍රහණය කරගන්නේ එහි රූප රචනාව නේද?
මේ කාලයේ ගායකයා කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි. අනිවාර්යයෙන් නිර්මාණය වෙනුවෙන් නිෂ්පාදකයෙක් ඉන්නවා. තමන්ගේ නිර්මාණයට වියදම් කර ගන්න ගායක ගායිකාවොත් ඉන්නවා. නමුත් සාමාන්‍යයෙන් නිෂ්පාදකවරයකුත් ඉන්නවා. නිෂ්පාදකයාගේ වුවමනාවෙන් ගීත රූප රචනාවේ වෙනස්කම් වෙන්න පුළුවන්. සමහරවිට නිෂ්පාදකයම රඟපාන අවස්ථාත් අපි දැකලා තියෙනවා. ඒ වගේ තත්ත්වයක ගායකයා කියන්නේ එක්තරා කොට්ඨාසයක් විතරයි. ඇත්තටම මට සාපේක්ෂව මම හිතන දෙයක් තමයි ගීතයකට රූප රචනාවක් අනවශ්‍යයි. ෆිල්ම් එකක වගේ නම් ප්‍රශ්නයක් නැහැ. සංගීතය කියන්නේ වෙනම භාෂාවක්. ශ්‍රව්‍ය මාධ්‍යක් විදියට ගත්තම සංගීතය කියන දේ ඇතුළේ වීඩියෝ එකකට යනවට මම විරුද්ධයි.
එයින් ගීතයට අවැඩක් වෙනවාද?
මගේ අතිනුත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. නමුත් පෞද්ගලිකව මම කැමැති නැහැ. ගීතයකට වීඩියෝවක් කරන්න. මෙහෙම හිතන්නකො. අපිට ඉස්සර ටීවී, රේඩියෝ නෑ. අපි හැමදේම ග්‍රහණය කර ගත්තේ පොත පතින්. ඒ කියවද්දී අපිට මැවෙන චිත්‍රයක් තියෙනවා. ඒ මැවෙන එක එකිනෙකාට සාපේක්ෂයි. ඒ තුළ තමයි අපිට පරිකල්පනයට ඉඩක් තිබුණේ. දැන් වීඩියෝ එකක් කළාම බොහෝ විට එහි තියෙන වචනවල තේරුම වෙන එකක්. වීඩියෝව තව එකක්. අපි ගීතයේ කතාවට එහා ගිහින් වෙන කෙනෙක් අපිට දීපු කතාවක හිර වෙනවා. එතකොට අපිට නිර්මාණයක් පරිකල්පනය සඳහා තියෙන ඉඩ නැති වෙලා යනවා.
ලංකාවේ සංගීත ක්ෂේත්රය තුළ පර්යේෂණාත්මක දෑ සිදුවන්නේ අඩුවෙන් නේද?
වර්තමානයේ සංගීතය නිර්මාණය කරන මිනිසුන්ට වුවමනා තරම් මාධ්‍ය තියෙනවා පෝෂණය වෙන්න. නමුත් කේමදාස මාස්ටර් වගේ අයට එවැනි පර්යේෂණාත්මක සංගීත කටයුතු කරන්න පටන් ගනිද්දී තිබුණේ වෙස්ටර්න් ක්ලැසිකල් සංගීතය සහ ජන සංගීතයේ තිබෙන පොඩි දේවල් ටිකක් සහ ඉන්දියානු සංගීතයේ තිබෙන යම්කිසි කාරණා ටිකක් විතරයි. එහෙම බැලුවාම එයාලා කරපු පර්යේෂණාත්මක මට්ටමේ වැඩ දැන් ළමයින්ට නිකන්ම අහන්න දකින්න ලැබෙනවා. තවදුරටත් එයාලට පර්යේෂණාත්මක දෙයක් කරන්න ඉතුරු වෙලා නැහැ. ෆියුෂන් තමයි කේමදාස මාස්ටර්ලා, අමරදේව මාස්ටර්ලා කලින් ඉඳලම පර්යේෂණ කියල අරං ඇවිල්ලා තිබුණේ. දැං එතනින් එහාට ෆියුෂන් කියලා කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. දැන් සංගීත සංස්කෘතීන්ගේ උප සංස්කෘතීන් මිශ්‍ර කරගෙන කරන හැම වැඩක්ම දැන් ෆියුෂන් ගානට තමයි වැටෙන්නේ. එතැනින් එහාට පර්යේ්ෂණාත්මක දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. දැන් පර්යේ්ෂණාත්මක කියන නිර්මාණ ඉවරයි. දැන් කලින් කරපු එක්ස්පරිමන්ට්ස්වලින් අපි පෝෂණය වෙලා කරන නිර්මාණ තමයි වැඩිපුර තිබෙන්නේ.
ගෝලීය වශයෙන් ආමන්ත්‍රණය කිරීමට අපේ සංගීතයට හැකිවෙලා තිබෙනවාද?
ඒකට පිළිතුර ඉතාම සරලයි. අපි ඒකට ජත්‍යන්තර මට්ටමෙන් වැඩ කරන්න ඕනි. ඒක මහ දෙයක් නෙවෙයි. ජාත්‍යන්තර මට්ටමේ තත්ත්වය මොකක්ද කියලා යූටියුබ් හෝ අන්තර්ජාලයට ගියාම අපිට දැකගන්න පුළුවන්. ඒ වගේම අපි ඒකට සාපේක්ෂව කොතැනද ඉන්නේ කියලා දැනගන්න පුළුවන්. ඒ ආකාරයෙන් අපි ඒ ලෙවල් එකට අනුව වැඩ කරනවා නම් ජාත්‍යන්තරය අපිට ජය ගන්න හැකියාව ලැබෙනවා.
ලංකාවේ සංගීත ක්ෂේත්රය කර්මාන්තයක් විදියට සාර්ථකද?
මම හිතන විදියට ලංකාවේ සංගීත ක්ෂේත්රය තමයි වැඩිම මුදලක් අය කරන්න හැකියාවක් තිබෙන ක්ෂේත්රය. සිනමාව හෝ කලාවේ වෙනත් ක්ෂේත්රයකට සංගීත ක්ෂේත්රයට තරම් ගෙවන්නේ නැහැ. හරියට බැලුවොත් සංගීත ක්ෂේත්රය තමයි පොහොසත්ම. නමුත් මම කලින්ම කියපු විදියට රටක කුමන හෝ ව්‍යසනකාරී තත්ත්වයක් ආවහම මුලින්ම කඩා වැටෙන්නේ කලාව. ඒක වළක්වන්න බැහැ. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරයක් ලබා දෙනවා නම් මේ තමයි සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳම මාධ්‍යය. නමුත් සෑම විටම මම කියූ ආකාරයේ අවදානමක් තියෙනවා.
ඒ කියන්නේ සංගීතය කියන්නෙත් විකුණන්න පුළුවන් වැඩක්?
මෙහෙමයි අපි හැම වෙලාවෙම මැද්දේ ඉන්න ඕනෑ. මධ්‍යම ප්‍රතිපදාව තමයි සුදුසු. අපිට නිතරම අදහසක් තියෙන්න ඕනි අපිව රැකගන්න ක්‍රමයක් ගැන. ඒ වගේම අපිට නිර්මාණ කරන්න සල්ලි තියෙන්නත් ඕනෑ. නැත්නම් නිෂ්පාදකයෙක් ළඟට ගිහිල්ලා ඔහුට අවනත වීමට සිදුවෙනවා. එවිට පාවාදීමක් සිදුවෙනවා. මේ දේවල් බැලන්ස් කරගන්න නම් අපි මැද තමයි ඉන්න ඕනෑ. මේවා ඇතුළේ වැඩක් කරන්න සල්ලි තියෙන්නත් ඕනා, අපි ආරක්ෂා වෙන්නත් ඕනෑ.
කලාව වෙනුවෙන් පාර්ලිමේන්තු ගිය කලාකරුවන්ගෙන් කලාව වෙනුවෙන් සාධාරනයක් ඉටු වෙනවද?
කිසිම දවසක, කලාව වෙනුවෙන් හෝ සමාජය වෙනුවෙන් හෝ වැඩක් කරන්න ශක්‍යතාව සහිත පුද්ගලයෙක් පාර්ලිමේන්තු ගියේ නැහැ. බුද්ධිමත් මිනිස්සු එළියේ ඉඳලා බොහොම නිදහසේ තමන්ගේ මතවාදය තමන්ගේ නිර්මාණ හරහා පක්ෂග්රාහී නොවී ඉදිරිපත් කරනවා හෝ තමන්ගේ අයිඩියා එක බෙදා ගන්නවා හැරෙන්න කවදාවත් පාර්ලිමේන්තු යන්න උත්සාහ කරන්නේ නැහැ. එහෙම යන්න අදහසක් තියෙනවා නම් ඔහු කලාකරුවෙක් නෙවෙයි. වෙන වෙන වුවමනාකම් සපුරා ගැනීම උදෙසායි ඔහු එවැනි දේ කරන්නේ. ඇත්තම කලාකරුවෙක්ට පාර්ලිමේන්තු යන්න හිතෙන්නේ නැහැ.
කලාකරුවන් කරන්නෙත් දේශපාලනයක්. දේශපාලනය කියන්නේ ආණ්ඩුවට එකතු වුණු වචනයක් නෙවෙයි. දේශපාලනය කියන්න තනි මිනිසකුගේ මතයක් හෝ මිනිසුන් කිහිප දෙනකුගේ සාමූහික මතයක් වෙනුවෙන් කතා කරන එක. ඒක කලාවද වෙන දෙයක් ගැනද කියන එක ගැන අදාළ වෙන්නේ නැහැ. මිනිස්සු වචනාර්ථයෙනුත් කියනවානේ මගේ දේශපාලනය මේක කියලා. මම හිතන්නේත් දේශපාලනය කියන එක හරිම පෞද්ගලිකයි. මම මගේ දේශපාලනය කරන්නේ කලාව හරහා. ඒකට ස්වර තිබුණාම ඇති. මොසාඩ්ලා බීතෝවන්ලා දේශපාලනය කළේ ඒ විදියට. කවියෙක් පවා දේශපාලකයෙක්. මම කියන්නේ දේශපාලනය සෑම විටම පෞද්ගලිකයි.
කලාකරුවන් රජයෙන් යැපෙන තත්ත්වයට පත්විය යුතුද?
එහෙම නම් සාමාන්‍ය මිනිස්සුත් රැක බලාගන්න එපැයි. රජයේ වගකීම තමයි සාමාන්‍යයෙන් හැමෝම බලා ගැනීම. වෙන රටවල නම් ඒ රටට පැමිණෙන සංක්‍රමණිකයන් පවා බලා ගන්නේ එම රජයෙන්. එතැනදී එරට පුද්ගලයෙක්ද, සංක්රමණිකයෙක්ද කියලා බලන්නේ නැහැ. ආණ්ඩුවක් එකම විදියට මිනිසුන්ට සලකන්න ඕනි. මොකද හැමෝම මිනිස්සුනේ. හැමෝම මහන්සි වෙලායි හම්බ කරන්නේ. අනෙක කලාකරුවෙක්ට තමන්ව රැකබලා ගන්න කලාව විතරක් නොවෙයි මොළෙත් තියෙන්න ඕනෑ.
ඔබට ආදරය කරන රසික ප්‍රජාව වෙනුවෙන් මොකක්ද කියන්න තියෙන්නේ?
මේ ඉතාම අමාරු කාලයක්. අපි මේ අනාගතය කියලා දකින්නේ සැබෑවම නෙවෙයි. අපි ඉස්සර විශ්වාස කරපු දේවල් නෙවෙයි දැන් මිනිසුන්ගේ පැවැත්ම. මේ විධියට තව කාලයක් ඉදිරියට ගියත් මිනිස්සු මුදල් මතම හඹා යාවි. අනික මේ කාලය මිනිසුන්ගේ දුර්වලතාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්න කාලයක්. ඒ නිසා හැමදේටම බුද්ධිමත්ව මුහුණ දීලා ජීවත් වෙන්න කියලා තමයි ඉල්ලන්න තියෙන්නේ.
හෂාන් අනුරාධ
උපුටා ගැනීම මවුබිම පුවත්පත