අපගේ මුඛයේ ශ්ලේෂ්මල පටලය බිඳීයාම නිසා හටගන්නා තුවාල ඇප්තස් තුවාල (apthous ulcers) ලෙස හඳුන්වනු ලබනවා. මේවා කැන්කර් තුවාල (canker sores), පණු ගෙඩි හා උෂ්ණ බිබිලි ලෙස ද හඳුන්වනු ලබනවා. ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් මේවා අතිශය වේදනාකාරී වගේම හිරිහැරයක්. කහ හා සුදු මැදක් සහිත රතු ගෙඩි ලෙස මේවා වර්ධනය වන අතර මුඛයේ ඇතුළත ආස්තර වල, තොල් වලට යටින්, කම්මුල් වලට ඇතුළින් , උගුරේ සහ දිව උඩ මෙම බිබිලි ඇතිවීම දක්නට ලැබෙනවා. මේවා ඇතිවී තිබෙන මුඛයේ එම පෙදෙස් ආශ්‍රිතව පුපුරු ගසන ගතියක් හෝ දැවිල්ලක් ඇතිවීම, වසා ගැටිති ඉදිමීම, උණ වගේ ලක්ෂණ යම් කෙනෙක්ට ඇති වෙන්න පුළුවන්. මුඛයට ඇතිවුණු කම්පනයක් අනතුරක් නිසා, අධික ආතතිය, දුර්වල ආහාර පාන රටාව, හෝර්මෝන වෙනස්කම්, දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම, ආහාර ආසාත්මිකතාවක් හෝ විටමින් ඌනතා හේතුවෙන් මෙම බිබිලි හට ගනී. මේවා බෝවීමක් සිදු නොවන අතර සාමාන්‍යයෙන් ප්‍රතිකාර නොකරම සති 2 ක් ඇතුළත මේවා ඉබේම සුව වී යනවා. නමුත් මේ බිබිලි නිසා ඔබට කතා කරන්න කන්න බොන්න දැඩි අපහසුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒ වේදනාවලින් මිදෙන්න අපිට කරන්න පුළුවන් මොනාද කියලා.
01. මී පැණි
මෙම බිබිලි නිසා ඇතිවු වේදනාව හා ප්‍රදාහය සමනය කළ හැකි ගුණ මී පැණි වල අඩංගු වෙනවා. පැසවීම වළකන ගුණ ඇති කහ සමඟ මිශ්‍ර කර භාවිතා කරන්න පුළුවන්.
මී පැණි තේ හැඳි 1 ක් කහ කුඩු තේ හැඳි 1/4 ක් සමඟ මිශ්‍ර කර තුවාල මත ගල්වා මිනිත්තු 20 ක් පමණ තිබෙන්නට හරින්න. නැතිනම් තුවාල මත සෘජුව මී පැණි ආලේප කරන්න.
02. අයිස්
කුඩා අයිස් කැටයක් ගෙන තුවාලය මත තබාගෙන දිය වන තුරු ඉන්න. බිබිලි සුව වීමක් සිදු නොවුනත් වේදනාවට සුවයක් ලැබේවි.
03. වැල්මී මුල්
වැල්මී මුල් වල මෙම උෂ්ණ බිබිලි වලට ප්‍රතිකාර කළ හැකි ඖෂධීය ගුණ බහුල ඹෞෂධීය බෙහෙත් වර්ගයක් බවට පරීක්ෂණ වලින් තහවුරු වී ඇත. ඒ වගේම තමා ප්‍රති ප්‍රදාහක ගුණ බහුල සක්‍රීය සංඝටකයක් වන glycyrrhizin ද මේවා සතුවේ.
තලාගත් වැල්මී මුල් මේස හැඳි 1 ක් වතුර කෝප්ප 2 ක පැය 2-3 ක් පමණ පෙඟෙන්නට තබා මුව සේදුම් දියරයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. වැල්මි මුල් සාරය තුවාල මත ගල්වන්න. මෙම පිළියම තුවාලේ ප්‍රමාණය අඩුකර සුවවීම වේගවත් කරයි.
04. කොත්තමල්ලි
කොත්තමල්ලි වල ප්‍රතිප්‍රදාහක, පැසවීම වළකන හා දිලීරනාශක ගුණ අඩංගුයි. ඒවා මඟින් තුවාල වල අපහසුතා සමනය කරයි.
කොත්තමල්ලි ඇට තේ හැඳි 1 ක් වතුර කෝප්ප 1 ක් සමඟ දමා තම්බාගන්න. පෙරා සිසිල් වූ පසු කට සේදීමට භාවිතා කරන්න. දිනකට වාර 4 ක් පමණ කරන්න. නැවුම් කොත්තමල්ලි කොළ වල යුෂ ද පානය කරන්න. කටේ මද වේලාවක් තබාගෙන සෙමින් ගිලින්න.
05. සිසිල් කළ තේ බෑග්
තේ වල ටැනින් අම්ල ප්‍රබල නිසා කසට ද්‍රව්‍ය ගුණයෙන් යුක්තයි. මේ නිසා තුවාල ආශ්‍රිත වේදනාව හා ප්‍රදාහය හොඳින් අඩු කරවන්න එයට පුළුවන්.
කලු තේ හෝ හරිත තේ (ග්‍රීන් ටී) බෑගයකින් තේ කෝප්පයක් සකසාගන්න. භාවිත කළ බෑගය මිනිත්තු 20 ක් පමණ ශීතකරණයේ තබන්න. මෙය කටේ උෂ්ණ බිබිලි මත සියුම් තෙරපුමක් යොදමින් තවන්න. තුවාල සුවවනතුරු මිනිත්තු 20 ක් පමණ දිනකට තෙවරක් පමණ සිදු කරන්න.
06. ටී ට්‍රී ඔයිල්
ටී ට්‍රී ඔයිල්ප් සතු ප්‍රතිපුතීක ගුණ හා බැක්ටීරියානාශක ගුණ බහුල සංඝටක අඩංගු නිසා තුවාල වලට ඵලදායිව ප්‍රතිකාර කරනවා. ටී ට්‍රී ඔයිල් මඟින් කටේ ඇප්තල් තුවාල යලි හටගැනිමේ ප්‍රවණතාව බොහෝ දුරට අඩුකරයි.
ටී ට්‍රී ඔයිල් ස්වල්පයක් වතුර වීදුරුවක දිය කර කට සෝදන්න. තුවාල සුවවන තුරු දිනකට තෙවරක් පමණ කරන්න.
07. බේකිං සෝඩා
ප්‍රතිප්‍රදාහක ගුණ වගේම බැක්ටීරියානාශක ගුණ බහුල නිසා තුවාලයට හොඳින් ප්‍රතිකාර කර සුව කිරීම සඳහා ක්‍රියා කරනවා. ඒ වගේම මුඛයේ pH සමතුලිතතාව ප්‍රතිස්ථාපනය කරයි.
වතුර ස්වල්පයක් සමඟ බේකිං සෝඩා කුඩු ටිකක් මිශ්‍ර කර තුවාලයේ ගල්වන්න. උණුසුම් වතුර වීදුරුවකට බේකිං සෝඩා දමා දිනකට කිහිපවරක් කට සෝදන්න.
08. ලූනු
ලූනු වල අඩංගු සල්ෆර් සංඝටක බැක්ටීරියා විනාශ කර තුවාල සුවවීමට ක්‍රියා කරනවා.
අමු ලූනු කැබැල්ලක් තුවාලයට තබා මිනිත්තු 5 ක් පමණ අල්ලාගෙන ඉන්න. මෙහිදි ලූනු වල සාරය තුවාලයට උරාගැනීමට සැලැස්විය යුතුයි. දිනකට වාර 3-4 ක් කරන්න. එසේත් නැතිනම් ලූනු යුෂ ස්වල්පයක් තුවාල වල ආලේප කරන්න.
09. රතු මිරිස්
රතු මිරිස් වල අඩංගු කැප්සයිසින් නම් සක්‍රීය සංඝටක මඟින් තුවාලය ආශ්‍රිතව වේදනාව ඇතිකරවන ස්නායු හිරිවට්ටමින් වේදනාව සමනය කර ඉක්මන් සහනයක් ලබාදෙනවා.
රතු මිරිස් ස්වල්පයක් සෘජුව තුවාලය මත ගල්වන්න. පළමු අවස්ථාවේදී නම් ඔබට සියුම් වේදනාවක් ඇතිවුවත් මෙය කදිම පිළියමක්.
10. කෝමාරිකා
ප්‍රතිප්‍රදාහක ගුණ හා සමනය කරවන ගුණ කෝමාරිකා වල බහුලයි. සිසිලන ගුණ හා බැක්ටිරියානාශක ගුණ ද එය සතු වන නිසා තුවාල වල වේදනාව සමනය කර සුවවීම වේගවත් කරනවා.
කෝමාරිකා පත්‍රයකින් මදය සූරා සෘජුව තුවාල මත ආලේප කරන්න. දිනකට කිහිපවරක් කරන්න. නැවුම් කෝමාරිකා යුෂ වලින් දිනකට දෙතුන් වරක් කට සෝදන්න. කෝමාරිකා මද මේස හැඳි 2 ක් වතුර කෝප්පයක මිශ්‍ර කර භාවිතා කරන්න.
මෙම සත්කාර බියවීමකින් තොරව ඔබට භාවිතා කල හැකියි. නමුත් මෙම ප්‍රතිකාර වලින් පසුවත් සුව වීමක් නොමැති නම් එය විශාල ලෙස පැතිර යාමට පෙර ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සිදු කල යුතුයි.