කක්කල් කැස්ස යනු Bordatella portusis නම් බැක්ටීරියාව නිසා ඇතිවන ශ්වසන පද්ධතියේ රෝගයක්. මෙම බැක්ටීරියාව කිවිසින විට පිටවන බිඳිති වාතය හරහා ගොස් අනිත් පුද්ගලයන්ට බෝ කිරීම සිදු කරනවා. මේ බැක්ටීරියාව මඟින් ශ්වසන මාර්ගයේ ස්වසනාලය හා ස්වාසනාලිකා වල ආස්තර ආසාදනයට ලක්කරනවා. විශේෂයෙන් කුඩා ළමුන්, නවයොවුන් වියේ දරුවන් මීට ඉක්මණින් ගොදුරු විය අතරම වැඩිහිටියන්ට ද මේ තත්වයට ගොදුරු වෙනවා. ත්‍රිත්ව එන්නත යටතේ කක්කල් කැස්සට එරෙහිව අපේ රටේ දරුවන්ට එන්නත්කරණය සිදු වෙනවා.

ආසාදිත පුද්ගලයෙකු සමීපයේ සිටීමෙන්, ප්රාශ්වාසයෙන්, රෝගියෙකු ස්පර්ෂ කළ භාණ්ඩ පරිහරණයෙන් වගේම කෙළ මඟින් මේ රෝගය බෝවෙන්න පුළුවන්. මෙම රෝගය පියවර 3 කින් වැළඳෙනවා. පළමු පියවරේදී සති දෙකක් පමණ නාසය බර ගතියක් ඇතිවී හොටු ගැලීමට පටන් ගැනීමත් සමඟ කිවිසුම් යාම, තදබල නොවන උණ, තරමක කැස්සත් පවතියි. දෙවන අවධිය තරමක් බරපතලයි. එක දිගට දරුණු කැස්සක් ඇතිවීම මෙම පියවරේ මූලික ලක්ෂණයයි. එක්වරක් කැස්ස ඇතිවී අවසන් වෙලා නැවත හුස්ම ගන්නා විට අමුතුම ශබ්දයක් පිටවෙනවා නම් මෙම කැස්ස කක්කල් කැස්ස යනුවෙන් හඳුන්වයි.මේ කැස්ස තත්වය මාසයක් හෝ ඊට අධික කාලයක් පමණ තිබෙන්නට පුළුවන්. තෙවන පියවර නම් මෙය යම් දිගු කාලයක් පැවතිය හැකියි. මෙහිදි කැස්ස නිව්මෝනියා තත්වය දක්වා බරපතල වුවහොත් නම් තත්ත්වය දරුණූ වේ. ඒ නිසා තදබල ලෙස කැස්ස වැඩිවීමක් සිදු වුවහොත් වහාම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු වන්න.
රෝග ලක්ෂණ
- හුස්ම ගැනීමේ අපහසුතා
- කැස්ස තත්වය බරපතල වීමත් සමඟ කුඩා ළමුන්ගේ සිරුර නිල්පාට වීම
- එක දිගට මිනිත්තු ගණනාවක් කැස්ස පැවතීම
- රාත්‍රී කාලයේදි කැස්ස තත්වය උත්සන්න වීම
- කැස්ස සමඟ වමනය පිටවීම
- ඇස් විඩාවට පත්කරමින් තදබල ලෙස කැස්ස ඇතිවීම
- ඇතැම් විට රතුපැහැ වීම හා සියුම් රුධිර වහන සිදුවීම
- තෙහෙට්ටුව, විජලනය හා ආහාර අරුචිය
ඉතින් මෙවැනි රෝග ලක්ෂණ ඔබ සතුවෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීම ඉතා වැදගත්. බාහිර රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් පසු X-Ray හා රුධිර පරික්ෂා වැනි ක්‍රම මඟින් රෝගය තහවුරු කර ගත හැක. ඉතින් බෝවීම වැළැක්වීම සඳහා අනිවාර්යයෙන්ම ආසාදිත පුද්ගලයා නිරෝධායනය කළ යුතු අතරම එම පුද්ගලයාත් වටපිටාවට ආවරණය නොවී සිටිය යුතුයි. එමෙන්ම අනුගමනය කළ යුතු නිසි උපදෙස් හා ප්‍රතිකාර වෛද්‍ය නිර්දේශ මත ලබා ගත යුතුයි.
මෙහිදී සිරුරට ප්‍රමාණවත් විවේකයක් ලබාදීම ඉතා වැදගත්. සිරුර වෙහෙසට පත්වන ව්‍යායාම කිරීමෙන් වැළකී සිරුරේ සජල බව පවත්වාගැනීමට හොඳින් ජලය ඇතුළු දියර වර්ග පානය කල යුතුයි. එමඟින් ශ්වසන මාර්ගයේ තෙතමනය ඇතිවී ශ්ලේෂ්මල බුරුල් වීමක් සිදුවෙනවා. මෙමඟින් සිදුවන ආහාර අරුචිය වැනි ලක්ෂණ නිසා සිරුරට හොඳ පෝෂණයක් ලැබීම අඩාල වෙන්න පුළුවන්. මෙම ආසාදනයට එරෙහිව අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ පෝෂක බහුල දියර ආහාර ලබා ගත යුතුයි. උදාහරණ විදියට ස්මූති,පොල් වතුර, සුප්,වතුර බහුල පලතුරු හා එළවළු,කැඳ දක්වන්න පුළුවන්. නමුත් කිරි සහ අයිස් ක්‍රීම් වැනි කිරි නිෂ්පාදන වර්ග සෙම වැඩිකරවන නිසා ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි..
නියම කරන ඖෂධ එලෙසින්ම ලබා ගෙන ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර ආරම්භයත් සමඟ රෝගියා දින 5 ක් පමණ නිරෝධායනය කර අන් අයට සම්ප්‍රේෂණය වීම වළක්වාගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත්. තොළ කට වියළීම, නොසන්සිදෙන පිපාසය, හිසරදය, ඉස කරකැවිල්ල, පේශී දුර්වලබව හා මූත්‍රා පිටවීමේ අඩුකම වැනි විජලනය ආශ්රිත ලක්ෂණ පැමිණෙනවානම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට කටයුතු කළ යුතුය.
මේ ආසාදනය මඟින් ශරීරයට ඇතිවූ අහිතකර තත්ත්වයෙන් මිදී යථා තත්ත්වයට පත්වීම සඳහා නීරෝගි සමබල ආහාර වේලක් සිරුරට ලබාගැනීම ඉතා වැදගත්ය. ඒ නිසා පහත දක්වා ඇති ගුණදායි ආහාර වර්ග ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.
- ඔරිගානෝ

ශ්වසන මාර්ගයේ ආසාදන වලට ඉහළ පිළියමක් විදියටත් කුළුබඩුවක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. මෙම ඔරිගානෝ තෙල් වාෂ්ප ආග්‍රහණය කිරිමෙන් හොඳ සුවයක් සලසා ගන්න පුළුවන්. වතුර බඳුනක් උණු කර එයට ඔරිගානෝ තෙල් බිංදු කිහිපයක් දමා කළවම් කර ඔබේ හිස තුවායකින් ආවරණය කරගෙන දිනකට දෙවරක් පමණ හොඳින් වාෂ්ප ඇල්ලීමෙන් කැස්ස සමනය කරගන්න පුළුවන්.
- ඉඟුරු

බැක්ටීරියානාශක හා ප්‍රතිශක්ති වර්ධක ගුණ බහුල ශරීරය යථාතත්වයට පත්වීමේ ක්‍රියාවලිය වේගවත් කරන පිළියමක් විදියට ඉඟුරු හඳුන්වන්න පුළුවන්. ඉඟුරු සහ මී පැණි මිශ්‍ර කසාය කක්කල් කැස්සට ගුණදායකයි. නැවුම් ඉඟුරු යුෂ මේස හැඳි 1ක් අමු මී පැණි මේස හැඳි 1 ක් සමඟ මිශ්‍ර කර දිනකට දෙවරක් පානය මෙයට හිතකරයි.
- විටමින් සී

විටමින් සී මඟින් කැස්ස බරපතල වීමත් සමඟ මොළයට ඇති රුධිර ප්‍රවාහය අඩාල වී වලිප්පුව වැනි තත්වයන් මඟහැරීමට සහය ලබා දෙනවා. ලෙමන් ඇතුළු පැඟිරි පලතුරු මෙන්ම විටමින් සී බහුල එළවලු වර්ග ද පරිභෝජනයට ගන්න.අතිරේක පෝෂක ලබාගැනීමට අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.
මෙම කාලසීමාවේදී දුම්පානය කිරීමෙන් වැළකිය යූතුයි. ලේන්සුවක කුඩා කපුරු කැබැල්ලක් ඔතා විටින් විට නහයට අල්ලන්න. සීතල හා තෙතමනය අධික තැන් වල වැඩි වශයෙන් ගැවසිමෙන් වැළකී නිවසින් පිටතට යන විට මුව ආවරණයක් පළදින්නත් අමතක කරන්න එපා.
සති 3 කට වඩා කල් පවතින කැස්ස. දවසින් දවස බරපතල වෙමින් වැඩිවන කැස්ස, හුස්ම හිරවීම ඇතුළු ශ්වසන අපහසුතා ඇතිවීම, වළිප්පුව, සම නිල් පැහැයට හැරීම වගේ ලක්ෂණ ඇතිවේ නම් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු වෙත විය යුතු අතරම ඔබ මේ සියලු ප්‍රතිකාර සඳහා යොමු විය යුත්තේ නිසි වෛද්‍ය උපදෙස් ලැබීමෙන් පසු අතිරේක ක්‍රම ලෙස පමණයි.