අවුරුදු 20 ,25දී ඔබට ඇති සම අවුරුදු 60ක් පමණ දක්වා පවත්වාගෙන යාමට ඔබට හැකි නම් කාන්තාවක් ලෙස එය ඔබ ලබන සැබෑ ජයග්‍රහණයකි. අද පවතින වෙළඳපොළ තුළ සම වෙනුවෙන්ම නිෂ්පාදනය කළ විවිධ නිෂ්පාදන රැසක් අපට බොහෝ සෙයින් දැක ගන්නට පුළුවන්ය. ඇතැම් නිෂ්පාදන අධික මිලකින් යුතුය. නමුත් එයින් ඔබ අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන අවස්ථා බොහෝය. ඇතැම් නිෂ්පාදන භාවිතා කිරීම නිසා තිබුණු සමත් විනාශව යාමේ අඳුරු අත්දැකීම් ඔබට ඇති. කෙසේවෙතත් වයසට යන තුරුම තරුණ පෙනුම රැකගැනීමට ඇති හොඳම ක්‍රමය කෘත්‍රිම ආලේපන භාවිතයෙන් වැළකී ස්වභාවික ක්‍රම කෙරෙහි අවධානය යොමුකිරීමයි.
සම වයසට යන්නෙ ඇයි?
සම ඉක්මනින් වයසට යාමට ප්‍රධාන හේතු දෙකකි. එනම් අභ්‍යන්තර හේතු සහ බාහිර හේතු වශයෙනි.අභ්‍යන්තර හේතු ලෙස ජානමය බලපෑම් දැක්විය හැකිය. සම වියැකීමට ප්‍රධානම හේතුව ඊට බලපෑම් කරන බාහිර හේතූන් වේ. ඒ අනුව සම වියළීම ,වැරදි ආහාර පුරුදු ,විෂ සහිත ආලේපන භාවිතය ,හෝමෝන වෙනස්වීම යන හේතු පෙන්වාදිය හැකිය. විශේෂයෙන්ම 80%ක් පමණ සම සැදුම්ලත් වන්නේ කොලැජන් නම් ප්‍රෝටීනයෙනි. මෙය ඇදෙන සුළු එකකි. සාමාන්‍යයෙන් වයස අවුරුදු 20ට පසු වසරකට වරක් බැගින් ක්‍රමයෙන් මෙම ප්‍රෝටීනය විනාශවීම සිදුවේ.එබැවින් බොහොමයක් රූපලාවණ්‍යය නිෂ්පාදන තුළ බාහිර වශයෙන් සිරුරට ලබාගත හැකි ප්‍රෝටීනයක් ලෙස කොලැජන් අන්තර්ගතව පවතී.ස්වභාවික නොවන කෘත්‍රිම ක්‍රම මඟින් ලබාදෙන කෙතරම් හොඳ යමක් වුවද කාලයක් යාමේදී අහිතකර ප්‍රතිඵල ගෙනදෙයි. එනිසාම ඇතැම් නිෂ්පාදන භාවිතය වයසට වඩා වයසට ගිය පෙනුමක් ඔබට ගෙනදෙයි. එනිසාම එවැනි නිෂ්පාදන භාවිතා කිරීම කල්පනාකාරීව ගතයුතු තීරණයකි. සාමාන්‍යයෙන් සමට ඇති වඩාත් ප්‍රබලම තර්ජනය හිරු එළියයි. හිරුගෙන් නිකුත් වන UV කිරණ සමට අහිතකර ලෙස බලපෑම් කරයි.එනිසාම හිරු කිරණට නිරාවරණය වීමට පෙරාතුව හොඳ ආලේපනයක් භාවිතා කිරීම වැදගත් වේ.ස්වභාවික ක්‍රම මඟින් සම රැක ගනිමු.සිරුර වසාගත් සමෙහි වඩාත් සංවේදී මෙන්ම නිතරම හිරුට නිරාවරණය වන කොටසකි මුහුණ ආශ්‍රිත ප්‍රදේශය. එමෙන්ම නිතර දුහුවිලි වැදෙන මුහුණ රැකගැනීමට කවුරුත් විශේෂයෙන් අවධානය දක්වයි. එනිසාම නිතර නිතර මුහුණ සේදීම සිදුකරයි. නමුත් මෙසේ මුහුණ සේදීමේදි සබන් භාවිතා කිරීම නුසුදුසුය. මන්ද සබන් මුහුණට සැර සහිත වීමයි.එනිසාම මුහුණ සේදීමටම වෙන්වූ සේදුම් කාරක භාවිතා කිරීම සුදුසු වේ. ඒවාත් දවසට දෙවරක් පමණ භාවිතා කිරීම යෝග්‍ය වේ. ඊට අමතර වාර ගණනක් මුහුණ සේදීමට අවශ්‍ය නම් ඒ සඳහා පිරිසිදු වතුර භාවිතා කළ හැකිය. නැත්නම් තරමක් උණුසුම් ජලයට දෙහි බිංදු කිහිපයක් එකතු කර මුහුණ සේදීම සුදුසු වේ.වියළි සම ඉතාමත් ඉක්මනින් වයසට යාම සිදුවේ. එනිසාම සම තෙතමනයකින් යුතුව පවත්වාගෙන යාම වැදගත් වේ. මේ සඳහා ඔබට පහසුවෙන්ම කළ හැකි දෙය නම් දෛනික ජල අවශ්‍යතාවය නොඅඩුව සිරුරට ලබාදීමයි. එමඟින් සෛල තෘප්තිමත්ව නිසි ලෙස පවතියි.එමෙන්ම දිනපතා නෑම ,ඇඟ සේදීම බාහිරව සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
විවිධ වර්ණිත එළවළු ,පලතුරු සහ ධාන්‍ය ආහාරයට ගැනීමත් සම රැකගැනීමට උපකාරී වේ. එහිදීත් පිසීමකින් තොරව ලබාගත හැකි එළවළු පලතුරු වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම නැවුම් බව වඩාත් වැදගත් වේ.ප්‍රතිඔක්සිකාරක ආහාර සිරුරට ලබාදීම සුදුසුය. ඒ අනුව දෙහි ,නාරං ,නිවිති ,කැරට් වැනි දෑ දැක්විය හැකිය.ප්‍රමාණවත් නින්ද ,නිතර නිතර සම ස්ක්‍රබ් නොකිරීම ,දවල් නින්ද අඩු කිරීම ,ව්‍යායාම කිරීම ,ආතතිය පාලනය සමෙහි මනා පැවැත්මට උපකාර කරයි.කෘත්‍රිම ආලේපන ,ආහාර අතිරේක ,සේදුම් කාරක භාවිතා කිරීම මඟින් සමට අහිතකර ප්‍රතිඵල ළඟා නොකරගෙන ඉහත සරල ක්‍රම මඟින් ඔබේ තරුණ පෙනුම රැකගැනීමට ඔබත් උත්සාහ කරන්න.